fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හදවත් බද්ධය නැවතිලා - අවුරුදු පහට 200ක් මියගිහින්!

    හදවත් බද්ධය නැවතිලා – අවුරුදු පහට 200ක් මියගිහින්!

    මෙරට සිදුකළ පළමු හදවත් බද්ධ කිරීමේ සැත්කමෙන් පසු ගෙවීගිය වසර පහකට අධික කාලය තුළ එවැනි අනිවාර්ය හදවත් බද්ධ කළ යුතු තත්ත්වයේ පසු වූ රෝගීන් 200ක් පමණ මියගොස් ඇති බවට සැකකරන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    පළමු හදවත් බද්ධ කිරීමෙන් පසුව හෝ එවැනි හදවත් බද්ධ කිරීම් සඳහා වූ වෙනමම ඒකකයක් ස්ථාපිත නොවීම හේතුවෙන් අනිවාර්ය හදවත් බද්ධ කිරීමකින් පමණක් ජීවිත බේරාගත හැකි රෝගීන් රැසකගේ ජීවිත අකාලයේ මියැදෙන බව එම ආරංචි මාර්ගවලින් නිවුස් වේව් වෙත වාර්තා විය.

    ශ්‍රී ලංකාවේ පළමු හදවත් බද්ධ කිරීම සිදුවූයේ 2017 ජුලි 07 වැනිදායි. මහනුවර ශික්ෂණ රෝහලේ හෘදය හා උරස් ශල්‍ය වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය හෙද හෙදි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඊට මූලිකත්වය ගෙන තිබිණි. අදාළ හදවත් බද්ධයට ලක්වූ පුද්ගලයා මේ වනවිටත් නිරෝගීව කාලය ගත කරයි.

    කෙසේ වෙතත් පසුගියදා මේ සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇතිවූයේ කොළඹ ජාතික රෝහලේ මෙරට දෙවැනි හදවත් බද්ධය සඳහා සූදානම් වීමත් එම සැත්කම සඳහා ඉන්දියානු වෛද්‍යවරුන් කණ්ඩායමක් ජාතික රෝහලට කැඳවීමත් සමඟය.

    අදාළ සැත්කම වෛද්‍යවරයෙකු වෙනුවෙන් පවත්වන්නට නියමිතව තිබූ අතර, මෙරට පළමු හදවත් බද්ධය කළ හෘදය හා උරස් ශල්‍ය වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතාට දොර වසා ජාතික රෝහල ඉන්දීය වෛද්‍යවරුන්ට දොර විවර කළේ කෙසේ ද යන්න මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නොමැත.

    මෙරට හදවත් බද්ධ කිරීම් සඳහා දැනට අත්දැකීම් බහුල වෛද්‍ය කණ්ඩායම්වල සේවය ලබා ගනිමින් වෙනම ඒකකයක් ලෙස හෝ ක්‍රියාත්මක වූයේ නම් අකාලයේ මියගිය ජීවිත රැසක් බේරා ගැනීමට හැකිව තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.