fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දීපාවලී අදයි - සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් අදින් ඇරඹේවායි ජනපති පතයි

    දීපාවලී අදයි – සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් අදින් ඇරඹේවායි ජනපති පතයි

    හින්දු බැතිමතුන් ඉතා වර්ණවත්ව සමරන දීපාවලි උත්සවය අදට (24) යෙදී තිබේ.

    අධර්මය පරදවා ධර්මය ජයගැනීම සංකේතවත් කරමින් මෙම පහන් දැල්වීම දීපාවලි දිනයේ විශේෂ සිදුවීමකි.

    මෙවර දිපාවලි සැමරුම සැමගේ සිතුම් පැතුම් ඉටුවන සහ ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් ජාතියක් බවට පත්කරන යහපත් අනාගතයක ආරම්භය වේවායි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දීපාවලි සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රාර්ථනා කරයි.

    ජනාධිපතිවරයා‍ගේ සුබපැතුම් පණිවුඩය මෙසේයි.

    “හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් වූ දීපාවලි උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පිරිනැමීමට ලැබීම පිළිබඳ මම ඉතා සතුටු වෙමි.

    හින්දු භක්තිකයන් විසින් කෝවිල, මහ මන්දිරය මෙන්ම පැල්පත ද ගෙවතු සේම මංමාවත් ද සුවහසක් පහන් ආලෝකයෙන් ඒකාලෝක කිරීම දීපාවලි දිනයේ දී සිදු කරන අතර අවිද්‍යාවේ අඳුර දුරු කර ආලෝකයේ දීප්තිය ලබා ගැනීම එහි අරමුණයි.

    අඳුර පලවා හරින්නට හැකි වන්නේ ආලෝකයට පමණයි. එසේනම් ඉතිහාසයේ නොවූ විරු අභියෝගවලට මුහුණදී සිටින මාතෘ භූමිය වෙළාගෙන ඇති ඝන අඳුර පලවා හරින්නට අප සියලුදෙනා එක්ව සාමුහික වැඩපිළිවෙළකට එළැඹිය යුතුය.

    දීපාවලියේ ඉගැන්වීම වන සාමය, සහෝදරත්වය සහ එකමුතුකම එහිදී ඉතා වැදගත් වන අතර ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව ආලෝකය පරම අපේක්ෂාව කර ගනිමින් රට ගොඩනැඟීම නම් පහන් සිළුව වටා අප සියලුදෙනා සාමුහිකව අත්වැල් බැඳ ගනිමු යැයි මෙම දීපාවලි දිනයේ දී මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

    මෙවර දිපාවලි සැමරුම සැමගේ සිතුම් පැතුම් ඉටුවන සහ ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් ජාතියක් බවට පත්කරන යහපත් අනාගතයක ආරම්භය වේවායි ප්‍රාර්ථනා කරන අතර සියලුම හින්දු භක්තිකයින්ට සුබ දීපාවලී සැමරුමකට සුභාශීංසන එක් කරමි.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.