fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'පැණි තවරා විෂ ගිල්ලවන්න ජනපතිගේ උත්සාහයක්' - පැෆරල්

    ‘පැණි තවරා විෂ ගිල්ලවන්න ජනපතිගේ උත්සාහයක්’ – පැෆරල්

    මැතිවරණ සංශෝධන පිළිබඳව ජනාධිපතිවරයා විටින් විට දක්වන අදහස්වලින් පෙනීයන්නේ ඔහු ‘පැණි තවරා විෂ ගිල්ල වීමට උත්සාහ දරන බව’ යැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය සඳහන් කරයි.

    මැතිවරණ ක්‍රමය පිළිබඳව සහ දේශපාලනඥයින් පිළිබඳව සමාජයේ තිබෙන අප්‍රසාදය භාවිත කරමින් මැතිවරණ සිතියමක් අකුලා දැමීමට ජනාධිපතිවරයා කූට උත්සාහයක් දරමින් සිටින බව ද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

    ඉතිහාසය පුරාවටම මෙවැනි සංශෝධන හරහා උත්සාහ කර ඇත්තේ මොහොතේ සිටින පාලකයාට අවැසි ලෙස මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීම විනා, රටක් ලෙස සලකා දේශපාලන සන්දර්භයට ගැලපෙන ක්‍රමවේද හඳුන්වා දීමට නො වන බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා කියයි.

    පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ද යහ පාලන සමයේ දී කල් දැමූ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි වූයේ තම සංවිධානය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම නිසා යැයිද රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතය ඒ ආකාරයෙන්ම සම්මත කරන බවට ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ව සිටි කාලයේ දී අවස්ථා ගණනාවක දී පොරොන්දු වූ නමුත් එය ඉටු කිරීමට ඔහු අසමත් ව තිබෙන බව ද හෙට්ටිආරච්චි මහතා කියයි.

    කෙසේ වෙතත් මැතිවරණ කල් දැමීමකින් තොරව ආණ්ඩුව ගෙන එන සාධනීය මැතිවරණ ක්‍රම වලට පැෆරල් සංවිධානයේ පූර්ණ සහාය ලබාදෙන බව ද ඔහු සදහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.