fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අමෙරික‍ාවෙන් තවත් ඖෂධ ආධාර තොගයක් අනිද්දා එයි

    අමෙරික‍ාවෙන් තවත් ඖෂධ ආධාර තොගයක් අනිද්දා එයි

    අමෙරිකාවේ වොෂින්ටන්ඩීසී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් Hope Worldwide මගින් ලබාදෙන ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ආධාර තොගයක් ලබන 02 වැනිදා ශ්‍රී ලංකාවේ ගොඩබෑමට නියමිතය.

    එහි වටිනාකම ඇ.ඩො. මිලියන 2.74කට වඩා අධිකය.

    මෙම වසර මුලදී එක්සත් ජනපදයේ පරිත්‍යාගශීලීන්ගේ සංවිධාන සමග සම්බන්ධ වූ එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා, උග්‍ර අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන් කෙරෙහි දැක්වූ ත්‍යාගශීලීභාවය වෙනුවෙන් Heart to Heart International, Hope Worldwide සහ Americares යන සංවිධාන වෙත සිය හෘදයාංගම කෘතඥතාව පළ කරන ලදී.

    එමගින් මේ වන විට ඖෂධ තොග තුනක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යවා ඇත.

    ඖෂධ තොග 4 හි මුළු වටිනාකම ඇ.ඩො. 12,645,150 කට අධිකවේ. අද විනිමය අනුපාතිකයට අනුව, මෙය දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 4.6 ක් (හරියටම රු. 4,588,925,697) වේ.

    රටේ අවදානමට ලක්විය හැකි ජන කොටස් සඳහා ආධාර ලබාගැනීම උදෙසා, මානුෂීය සංවිධාන සහ නියෝජිතායතන සමඟ අඛණ්ඩව කටයුතු කිරීමටද තානාපතිවරයා අදහස් කරයි.

    පසුගිය ජූලි සිට ඔක්තෝබර් දක්වා ශ්‍රී ලංකාවට නොමිලේ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් සපයාදීම සදහා, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සුප්‍රසිද්ධ ඇමරිකානු මානුෂීය පරිත්‍යාගශීලී සංවිධාන සමඟ එක්ව කටයුතු කරමින් සිටී.

    2022 ජුලි මස ආරම්භයේදී, Heart to Heart International ආයතනය විසින් ඇ.ඩො. මිලියන 9.131 ක් වටිනා ආධාර තොග දෙකක් ලංකාවට යවා ඇත.

    සැප්තැම්බර් මාසයේදී Americares ආයතනය විසින් කොළඹට යවන ලද ආධාරවල වටිනාකම ඇ.ඩො. මිලියන 773,000 ඉක්මවයි.

    මෙම ආධාර තොග භාර ගන්නා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්, මෙම ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ලබන්නන් සහ ගමනාන්තයන් පිළිබද සවිස්තරාත්මක වාර්තා එම ආධාර කරනු ලැබූ පරිත්‍යාගශීලී ආයතන වෙත ලබා දෙනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.