අනියම් පෙමක් ගැන ඇති වුණු ආරවුලක් මුල්කරගෙන දික්වැල්ලෙන් මෝටර් රථයක දමාගෙන අද උදෑසන පැහැරගත් ඇගුළුම් කම්හල් සේවිකාවක් බද්දේගමදී බේරා ගැනීමට පොලීසිය සමත්ව ඇත.
ඒ ඇයව පැහැරගත් ඇගේ අනියම් පුරුෂයා බව කියන තරුණයෙක් සහ ඔහුගේ මිතුරෙක් මෝටර් රථයද සමඟ අත්අඩංගුවට ගනිමිනි.
තිදරු මවක් වූ එම ඇගළුම් කම්හල් සේවිකාව පැහැර ගත් අනියම් සැමියා ඇය සමඟ වසර තුනත් ඇසුරක් පැවැත්වූවෙකි. දෙදෙනා අතර එම සම්බන්ධය කැඩීයාමත් සමඟ උරණ වී සිය මිතුරෙකු සමඟ එක්ව ඔහු ඇයව පැහැරගෙන ඇති බව පොලීසිය කියයි.
ඇයව පැහැරගත් මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පිටවන්නේ බද්දේගම පිවිසුමෙනි.
එහිදී මුදල් ගෙවන ස්ථානයේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරියෙකුගේ නිරීක්ෂණයට මෝටර් රථය ලක්ව ඇත.
පිටුපස අසුනේ ජෝඩුවක් සිටින බව ඔහුගේ නිරීක්ෂණයට ලක්වී තිබේ. පිරිමියා විසින් කාන්තාවගේ මුඛය අතින් වසාගෙන සිටින අයුරු නිරීක්ෂණය වූ එම නිලධාරියා ඒ බව බද්දේගම පොලීසියට දැනුම් දී ඇත්තේ ඒ වන විට පිටවුමෙන් මෝටර් රථය පිටව ගොස් තිබුණු බැවිනි.
එම අවස්ථාවේදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ බද්දේගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනක් මෝටර් රථය බද්දේගම නගරයට ආසන්න ස්ථානයකදී නතරකර තිබේ.
එවිට පිටුපස අසුනේ සිටි පුද්ගලයා රථයේ වීදුරු වසාගෙන දොරවල් අගුල්ලාගෙන සිට ඇති බවත් තරුණියට තියුණු ආයුධයකින් පහරදීමට පටන්ගෙන ඇති බවත් පොලීසිය කියයි.
එහිදී පොලිස් නිලධාරියෙක් අහසට වෙඩි තබා මෝටර් රථයේ වීදුරුවක් බිද අගුල් ඇර තරුණියව බේරාගෙන ඇය සමඟ පිටුපස සිටි පුද්ගලයාත් රියදුරුත් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ වන විට පිටුපස සිටි යුවල තුවාල සහිතව සිට ඇති බැවින් ඔවුන් දෙදෙනාව බද්දේගම රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත. අනතුරුව රියදුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ තිදෙනාම වලස්මුල්ලේ පදිංචිකරුවන් බවය.
වසර තුනක් තිස්සේ පැවති අනියම් සම්බන්ධය අතහැර කාන්තාව වෙනතක් බලා ගැනීම මෙම පැහැර ගැනීමට මුල්වී ඇති බව පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.