fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජයේ වෙබ් අඩවිය හැක් කර උසස් පෙළ සිසුන්ගේ ප්‍රතිඵල සොරාගත් පාසල් සිසුවා...

    රජයේ වෙබ් අඩවිය හැක් කර උසස් පෙළ සිසුන්ගේ ප්‍රතිඵල සොරාගත් පාසල් සිසුවා අත්අඩංගුවට

    මෙවර උසස් පෙළ විභාගප්‍රතිඵල නිකුත් වූ රටපුරා සිසුන් සියලුදෙනාගේම ප්‍රතිඵල ලේඛනය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හැක් කොට සොරාගත් පාසල් සිසුවෙක් අද(08) රහස් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සිසුවා මෙවර ප්‍රතිඵල නිකුත් වූ සියලුම උසස් පෙළ සිසුන්ගේ ප්‍රතිඵල නීතිවිරෝධී ලෙස ලබාගෙන ඊට නම ඇතුලත්කරමින් ප්‍රතිඵල ලේඛන පරීක්ෂාකර බැලීමට හැකිවන ලෙස වෙනම වෙබ් ප්‍රවේශයක් සකස්කර තිබී ඇත.

    මේ පිළිබඳ ලද පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ සමාජ මාධ්‍ය ජාල ඒකකයේ නිලධාරීන් විසින් කළ විමර්ශනයේදී මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු ගාල්ලේ ජනප්‍රිය පිරිමි පාසලක උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරණ සිසුවෙකි.

    මෙම සිසුවා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හැක් කොට මෙවර ප්‍රතිඵල නිකුත් වූදෙලක්ෂ හැත්තෑ දෙදහස් හයසිය අසූ දෙදෙනාගේම ප්‍රතිඵල ලබාගෙන ඇත.

    විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතාගෙන් අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉකුත් 06 වෙනිදා ලද පැමිණිල්ලකට අනුව කළ දිර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම සිසුවව හදුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත.

    විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ උසස් පෙළ ඇතුළු විභාග ප්‍රතිඵල පරීක්ෂාකර බැලීමට හැකියාව ඇත්තේ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ විභාග අංකය හෝ විභාගයට මුහුණ දුන් අයදුම්කරුවන්ගේ ජාතික හැදුණුම්පත් අංකය ඇතුලත් කිරීමෙන් පමණි.

    ඒ හැරුණු කොට කිසිදු විටෙක නමක් පරීක්ෂාකිරීමකින් විභාග ප්‍රතිඵල ලබාදීමක් සිදු නොකරමින් රහස්‍ය භාවය උපරිමයෙන් ආරක්ෂා කිරීමට කටයුතු කර තිබේ.

    එහෙත් මෙම සිසුවා විසින් විභාග දෙපාර්තමේන්තුවේ වෙඩ් අඩවිය හැක්කර එහි ඇති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛනය සොරාගෙන සකස්කර ඇති නව වෙබ් ප්‍රවේශයෙන් විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ නම ඇතුලත් කිරිමෙන් ප්‍රතිඵල ලේඛනය පරීක්ෂාකර බැලීමට හැකියාව පවතී.

    විභාගයට පෙනී සිටි අපේක්ෂකයාගේ නම සම්පූර්ණයෙන්ම නොදන්නේ නමේ දන්නා කොටස ඇතුලත් කළ විට එවැනි නම් ඇති විභාගයට පෙනී සිටි සියළුම අපේක්ෂකයන්ගේ නම් පෙන්වන අතර ඒ නම් අතර ඇති තමන්ට අවශ්‍ය නම තෝරාගෙන ප්‍රතිඵල ලේඛනය පරීක්ෂා කිරීමට පහසුකම් මෙහි සපයා තිබේ.

    මෙම සිසුවාගේ දෙමාපියන් ගුරුවන් වන අතර වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක්ද ඔහුට සිටින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඒ එක් සහෝදරියක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන අතර අනෙත් සහෝදරිය උසස් පෙළ අධ්‍යාපනය හදාරයි.

    මෙම සිසුවා වෙබ් අඩවි හැක්කරන සහ දත්ත සොරා ගැනීම් කරන ආකාරය ගැන දැනුම බෙදා ගන්නා තාක්ෂණය විෂය හදාරණ පාසල් සිසුන්ගෙන් සමන්විත ටෙලිග්‍රෑම් සමූහයකට සම්බන්ධව සිටින බවත් එහි 5000ක් පමණ සිසුන් එක්ව දැනුම හුවමාරුකර ගනිමින් සිටින බවත් සිය විමර්ශන වලින් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අනාවරණයකරගෙන තිබේ.

    විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හැක්කර එහි දත්ත යොදා සකස් කළ නව වෙබ් ප්‍රවේශය මෙම සිසුවා ප්‍රසිද්ධකර ඇත්තේ මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දී සිටි සිසුන්ගේ වට්ස් ඇප් ඇතුළු විවිධ සමාජ මාධ්‍ය ජාල සමූහයන් අතර හුවමාරුකරමිනි. ඒ ඔස්සේ විභාග ප්‍රතිඵල විශාල පිරිසක් බලා ඇති බවද පැවසේ.

    අත්අඩංගුවටගත් සිසුවාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ මෙයට පෙරත් එක් අවස්ථාවකදීත් විභාග දෙපර්තමේන්තුවේ වෙබ් අඩවිය හැක්කර ප්‍රතිඵල ලේඛනයක් මේ අකාරයටම වෙනම වෙබ් ප්‍රවේශයක් ඔස්සේ ප්‍රසිද්ධ කළ බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.