ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය පස් වන පටුමගේ පිහිටි පුද්ගලික නිවස ගිනි තැබුවේ ජූලි 09 වෙනිදාය.
නිවසට කඩා වැදුණු පිරිස් නිවස ගිනි තැබුවා පමණක් නොව, දේපොල ද කොල්ලා පළා ගිය බව කියැවිණි. ඒ් අතර මිල කළ නොහැකි වටිනාකම් ඇති ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය නායකයන්ගෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සිහිවටන ලෙස ලද සැමරුම් රාශ්‍රියකි.
එසේ පැහැරගත් සිහිවටන තුනක්ද සමඟ පෙදරේරුවෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්වන්නේ ජනපතිවරයාගේ නිවස ගිනි තැබුවාට ඇල්ලූ 26 වෙනියා ලෙසිනි.
කෑගල්ලේ පදිංචිකරුවෙක් වන මෙම පෙදරේරුවා 26 වියේ පසුවන්නෙකි. තාවකාලිකව පදිංචිව සිටියේ පිළියන්දලය එහි සිට ඔහු රැකියාවේ නිරතව සිට ඇත. ජනාධිපතිවරයාගේ කොල්ලුපිටියේ පිහිටි නිවසට ජූලි 09 වෙනිදා කඩා වැදී ගිනි තබා විනාශ කිරීමට පමණක් නොව, දේපොල කොල්ලකෑමට ඔහු සම්බන්ධ වන්නේ පිළියන්දල සිට පැමිණය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හදුනාගෙන ඇති ආකාරයට අනුව ජනාධිපතිවරයාගේ නිවසට කඩා වැදුණු මුල් 10 දෙනා අතරද මෙම පෙදරේරුවා සිට ඇත.
මෙම පෙදරේරුවා අත්අඩංගුවට ගැනීමෙන්පසු ඔහු පදිංචිව සිටි පිළියන්දල නිවසක කාමරය පරීක්ෂාවටද ලක්කර ඇත. එහිදී එම කාමරයේ ඇදක් යට තිබී හමුවී ඇත්තේ සොරාගත් සිහිවටන තුනකි. ඒ එක් සිහිවටනයක ඇති සටහනකට අනුව එය අග්‍රාමාත්‍යවරයා ලෙස 2003 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකාවේ කළ සංචාරයකදී එවකට එරට ජනාධිපති ජෝජ් ඩබ්ලිව් බුෂ් මහතා විසින් ලබාදුන් කුළු හරකෙකුගේ රුවක් සහිත සිහිවටනයකි.
සෙසු සිහිවටන අතර ඇත්තේ රතු ඉන්දියානුවෙකුගේ රුවක් සහ පළිගුවකි.
මෙම සිහිවටන දෙකද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවිධ වකවානුවලදී කළ විදෙස් සංචාරයන්වලදී රාජ්‍ය නායකයන් මුණ ගැසුණු අවස්ථාවන් වලදී ඒ අය විසින් ලබාදුන් ඒවාය.