fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජනපතිගෙ ගමසමඟ පිළිසඳරට අකමැති කවුද ?

    ජනපතිගෙ ගමසමඟ පිළිසඳරට අකමැති කවුද ?

    සහරාන්ලාගේ බෝම්බවලින් පසුව රට ඉල්ලුවේ ස්ථීර සාමයකි. ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ වැන්නෙකුට රට භාර දිය යුතුයැයි ජනතා මතයක් බිහිවිය. එහි මූල බීජ පැලවුණේ ගමේය. බඩට කන්න නැතත් ලංකාවේ මිනිස්සු සාමයට කැමතිය. තිස් වසරක් කළ එවැනි කැපකිරීම් ගංඟා දියේ පාකර හැරීමට කිසිවෙකුත් කැමති වන්නේ නැත. ඒ නිසා එහි උපරිම වාසිය ආවේ රට හමුවේ ඇති අභියෝගවලට සෘජුව මුහුණ දිය හැකි නායකයකු බිහිකර තැනටය.

    ඒ නිසා ජනාධිපතිවරණය ජය ගැනීමට ගෝඨාභය රාජපක්ෂට හැදුණු රැල්ල සුළු පටු නැත. ඒ නිසා ජනාධිපතිවරණ දිනය තෙක්ම ඉවසමින් සිටි ජනතාව එතෙක් පැවති ආණ්ඩුව හෝදා දමා විශිෂ්ට ජයග්‍රහණයක් ගෝඨාභයට ලබා දුන්නේය.

    මෙම ප්‍රතිඵලයෙන් ජනතාව අංක එකට බලාපොරොත්තු වූයේ අන්තවාදය හෝ මත්කුඩු ජාවාරම් සමඟ පාතාලය හිස ඔසවන්නේ නැති රටක ජීවත්වීමය.

    එදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට භාරගනිමින් රුවන්වැලි මහ සෑ මළුවේ අන් කවරෙකුටත් වඩා වෙනස් විධියේ ප්‍රකාශයක් කළේය. ඒ අතරින් ජනතාව අතර වඩාත් කැපී පෙනෙන කියමන වූයේ මා බලයට පත්වූයේ බහුතර සිංහල ඡන්දවලින් බවට කළ අභීත ප්‍රකාශයයි. නමුත් එදින අනෙකුත් ජාතීන්ටද තමන් සමඟ අනාගත ශ්‍රී ලංකාව ගොඩ නැගීමට එක්වන්නැයි ගෝඨාභය ජනාධිපතිවරයා ආරාධනා කළේය.

    එය පිළිගැනීම හෝ නොපිළිගැනීම ඔවුනොවුන්ගේ ප්‍රජාතන්තවාදී අයිතියකි. නමුත් ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ජාති ආගම් භේද නොසලකා රටේ අරමුණු වෙනුවෙන් සිය නායකත්වය දීමට පටන් ගත්තේය. පාතාල ක්‍රියාකාරකම් නැවතුණේය. මත්කුඩු ජවාරම්කරුවෝ දිනෙන් දින නීතියේ රැහැනට අසු වූහ. මේ නිසා ඇතමෙක් සිංහල ජනතාවගේ කර මතින් පැමිණි නායකයා සිංහලයන්ට පමණක් සේවය කළ යුතුය හෝ කරනවාය වැනි පටු පරමාර්ථයෙන් එදෙස බලද්දී ගෝඨාභය ජනාධිපතිවරයා පුළුල් පරාසයකින් ඒ දෙස බැලුවේය.

    මේ නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු විය. ජනපති වූ පසු ඒකාධිපතියකු වනු ඇතැයි විපක්ෂය කළ රැවටිල්ල උපන්ගෙයිම පුස්සක් විය. විපක්ෂය කියු කරුණුවලට රැවටුනු ඇතමෙක් සිතුවේ තමන්ට රුස්සන්නේ නැති එකා දෙන්නා සුසානයට යවා ගෝඨාභය ජනාධිපතිවරයා වැඩ පටන්ගනු ඇති කියාය. එවැනි දේ සඳහා ගෝඨාභය ජනාධිපතිවරයාට මෙවර හදිස්සි වුයේ නැත.

    මෙම පසුබිම හේතුවෙන් විපක්ෂයට තවත් සටන් පාඨ සොයන්නට සිදුවිය. සර් ෆේල් යැයි ගෙනා සටන් පාඨය ද කාලයක් ඉහළටම එසවී ටයරයක හුළං ගියාක් මෙන් බැස ගියේය. අවසානයේ විපක්ෂයේ බලාපොරොත්තු කඩ විය. ඉන් අනතුරුව රාජ්‍ය නොවන සංවිධානවල උපදෙස් ගනිමින් ගෝඨාභය ජනාධිපතිවරයාට පහර ගැසීමට යොදාගත් අවිය වූයේ පරිසර විනාශ සබැඳි චෝදනාවයි.

    රටේ කොතැනක හෝ ගහක් කැපුවේ නම් ඒ ගෝඨාභය ජනාධිපතිතුමාගේ උපදෙස් මත කළ වැඩක් යැයි පෙන්වීමට විපක්ෂය නොගත් උත්සායක් නැත. නමුත් මෙම විරෝධය නම් රටට වෙස්වලාගත් ආශිර්වාදයක් වුයේය.

    හැමෝම පරිසරයට ප්‍රමුඛත්වය දෙමින් රුක් රෝපණයට මුල පිරුවේය. එදා කසල තැන තැන වැටී ගහක් කොළක් නැතිව කොන්ක්‍රීට් වනාන්තරයක්ව දුගද ගසමින් තිබූ කොළඹ නගරය අලංකාර වුයේ ගෝඨාභය ජනාධිපතිවරයාගෙන් බව ජනතාවට නැවත නැවත සිහි කිරීමට මෙය කදිම අවස්ථාවක් විය.

    ඇත්තම ගත්තත් අන් ජනාධිපතිවරුන්ට වඩා ගෝඨාභය ජනාධිපතිවරයා වෙනස්ය. ඔහු ගම ට යන්නේ ඒ නිසාය. ඇතමෙක්ගෙ තර්කය වූයේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී කරන වැඩය ජනාධිපතිවරයකු කරන්නේ ඇයිද කියාය. සීතල කාමරයක සිට ඒ දෙස බලනවිට එසේ පෙනුනද කිසි දිනෙක ජනාධිපතිවරයකු තියා ඇමති, මන්ත්‍රී හෝ රජයේ නිලධාරියෙකුගෙවත් ඇස නොගැටුනු ගම්වලට ගොස් ගෝඨාභය ජනාධිපතිවරයා සංවර්ධනයේ අරුණළු යා කරනවිට ඉන් රිදෙන පිරිස වැඩිය.

    අපේ රටේ ඇතැම් මහජන නියෝජිතයන්ම ගම දියුණුවනවාට කැමති නැත. ඇත්තම ගත්තොත් ගම දියුණු වී ජනතාව මනසින් දියුණුවනවිට ගමේ මගෝඩිස්තුමාට දියවන්නාව තරණය කරන්නට හැකිවන්නේ නැත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අත ගැසුවේ එවැනි තැනකටය.

    වලස්මුල්ල ගමෙන් ආ විජයදාස රාජපක්ෂලා වුවද ජනාධිපති ගෝඨාභය ගමට යනවාට උරණ වූයේ ඒ නිසාය. ගමට ගියවිට ගමේ ජනතාවගේ හිතට දැනෙන දෑ කොළඹ සිට ආණ්ඩු පෙරලන්න උඩ ගෙඩි දෙන හදවත්වලට දැනෙන්නේ නැත.

    මේ නිසා රට හරි මගට ගැනීමේ එකම අවස්ථාව අප සියලු දෙනා එක්ව ප්‍රයෝජනයට ගත යුතුය. කොවිඩ් රැලි කොතරම් පැමිණිය ද ඊට මුහුණ දුන් සහ මුහුණ දෙන නායකත්වය ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටය. දැන් කොවිඩ්වලින් හෝ දේශපාලනය කොට ගොඩයන්නට බලන පිරිස බලයේ සිටියා නම් ඒකාන්තයෙන්ම අද රටේ වෙන දෙයක් කතා කරන්නට ඉතිරි වන්නේ නැත.

    ඒ නිසා අකමැති පිරිස ගැන නොව රට දියුණුවනවාට කැමති පිරිස වෙනුවෙන් ගම සමඟ පිළිසඳරේ යෙදීම පමණක් නොව, තමන් ගිය ගමනෙන් ප්‍රතිඵල ලැබී ඇත්දැයි නැවත ගොස් විපරම් කිරීම අගය කළ යුතුය.

    2020 .09.25 බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල, වෙලංවිට, අක්කර 100, කුමාරතැන්න ග්‍රාමයේ දී පැවැති ගම සමඟ පිළිසඳරෙන් පළමු වැඩසටහනෙන් දැනටම වැඩක් වී ඇත.

    ඒ ඊට අකුල් හෙලූවන්ට නොව ඒ ගමේ ජීවත්වන ගම් වැසියන්ටය. ඒ නිසා තමන්ව රටේ නායකත්වයට තෝරාපත් කළ ගමේ ජනතාවටත් වැඩක් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉඩ දෙන්න යැයි කියනවා හැර අපට මේ මොහොතේ ඔබෙන් වෙන ඉල්ලීමක් කරන්නට නැත.

    දේශපාලන වාර්තාකරු

    දේශපාලන වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.