කිසිවෙකුට නිකරුනේ කන්න දීමට රජය සූදානම් නැති බවත්, වැඩකළ නොහැකි රාජ්‍ය සේවකයින් සියලුදෙනාට ඉවත්ව යන ලෙස තමා දැනුම් දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
බිම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ග්‍රාම නිලධාරි කොට්ඨාසවල සංවර්ධනයට සහ ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කැපවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටී.
පක්ෂ පාට, ජාති ආගම් බේදයකින් තොරව රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශි කර ගැනීමේ අතීත පාඩම කියා දුන්නේ ද එක්සත් ජාතික පක්ෂය බවත්, ඉදිරියට ද රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස තමා කිසිවෙකුට නොපවසන නමුත් රට ගොඩනැගීමට නොපමාව එක්වන්නැයි සියලුදෙනාට ආරාධනා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (21) අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ උත්සව ශාලාවේ පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමිනි.
දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සොයා බැලීම සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට කැඳවා තිබු මෙම හමුවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කරන පළාත් මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.
බෙදී සිටී කාලය දැන් අවසන් බැවින් සියලු දෙනා එක්ව රට වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ නොපමාව ගතයුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. අලුත් දේශපාලන න්‍යායක් සහ ශිලාචාර දේශපාලන ගමනක් රටට අවශ්‍ය බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා පැරණි දේශපාලන ක්‍රමය දැන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී අවසන් යැයි ද පැවසීය.
ඓතිහාසික අනුරාධපුර පුද බිම ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරිමට කඩිනම් පියවර ගන්නා බව සඳහන් කළ ජනාධිපතිවරයා සියලු පාර්ශ්වයන් නියෝජනය වන පරිදි කමිටුවක් පත් කරන බවත්, එම කටයුතුවලදී විදෙස් උපදේශන සේවා ලබා ගැනීමට ද අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.
ජනාධිපතිවරයා කළ කතාව පහතින්.