fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාලු ලොරියකින් ඉන්ධන ජාවාරම් කළ 5ක් තෙල් තොගයක් සමඟම දැලේ

    මාලු ලොරියකින් ඉන්ධන ජාවාරම් කළ 5ක් තෙල් තොගයක් සමඟම දැලේ

    පෙට්‍රල් සහ ඩීසල් ජාවාරම් දෙකක් වැටලීමට නාවුක හමුදාව සහ පොලීසිය ඊයේ(17) රාත්‍රීයේ සමත් වී ඇත.

    මෙම වැටලීමේදී සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පෙට්‍රල් ලීටර් 1429 ක් සහ ඩීසල් ලීටර් 6600 ක්ද වැටලීම කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.

    මාළු ප්‍රවාහනය කරන ශීතකරණයක් සහිත ලොරියකින් පෙට්‍රල් ලීටර් 1429 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවුක හමුදාව විසින් කල්පිටිය – දළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    පෙට්‍රල් තොගය හලාවත සිට කල්පිටිය දක්වා ප්‍රවාහනය කරමින් තිබූ බව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වැටලීම කළ නිලධාරීන් හමුවේ සදහන් කර ඇත.

    පෙට්‍රල් තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – වැල්ල සහ මුගුණුවටවන පදිංචිකරුවන් දෙදෙනෙකි.

    හලාවත සිට උඩප්පුව හරහා ඇති අතුරු මාර්ගයක් ඔස්සේ පෙට්‍රල් රැගත් ලොරි රථය කල්පිටිය දක්වා ගමන් කරමින් සිට ඇති බව නාවුක හමුදාව සදහන් කරයි.

    පෙට්‍රල් තොගය බැරල් 04 ක සහ ප්ලාස්ටික් කෑන්වල අසුරා තිබී ඇත.

    මේ අතර, පුත්තලම – මන්නාරම් පාරේ ලුණු ලේවාය තුළදී ඉන්ධන බවුසරයකින් ඩීසල් ඉවත් කරමින් සිටි සැකකරුවන් 03 කුව පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් විසින් ඩීසල් ඉවත් කරමින් තිබූ සිපෙට්කෝ ආයතනයේ ලියාපදිංචි කර ඇති ඩීසල් ලීටර් 6600 ක් අඩංගු බව්සර් රථයක්ද පොලිස් බාරයට ගෙන ඇත.

    ඩීසල් ඉවත් කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නොච්චියාගම, මැදවච්චිය සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකුව ය.

    ඉන්ධන සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 05 දෙනා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    මේ අතර, සහන මිලට ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් ධීවරයින් පිරිසක් විසින් හලාවත නගරය තුළ ආරම්භ කර ඇති විරෝධතාවය තුන්වන දිනටත් 18 වැනිදා ක්‍රියාත්මක විය.

    ජුඩ් සමන්ත

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.