තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මීට වඩා අභියෝග තිබෙන කාලයක් එන්න පුළුවන්" - ජනපති

    “මීට වඩා අභියෝග තිබෙන කාලයක් එන්න පුළුවන්” – ජනපති

    සියලු ජනතාවට යහපත් ජීවිතයක් උදාකරන අලුත් ආර්ථිකයක් වෙනුවෙන් සියලු දෙනා අලුත් බලාපොරොත්තු සමග ඉදිරියට ගමන් කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියත් එම අර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නා බවත් ඒ සඳහා දළදා වහන්සේගේ මෙන්ම සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය විශාල ශක්තියක් බවත් ජනාධිපතිවරයා කියාසිටී.

    ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සහ සතර මහා දේවාලවල වාර්ෂික පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැලකිරීමට, මහනුවර ජනාධිපති මන්දිරයේ ඊයේ (12) පස්වරුවේ පැවති උත්සවයේ දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

    පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි දියඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබීය.

    අනතුරුව දියවඩන නිලමේතුමා සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

    පෙරහරේ ගමන් කළ අලි ඇතුන් සංකේතවත් කරමින් “සිංදු” ඇතාට පළතුරු සංග්‍රහයක් කිරීම ද වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

    චිරාගත සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ ඉන් අනතුරුවය.

    පෙරහරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත සාම්ප්‍රදායානුකූලව තිළිණ හා සම්මාන පිරිනැමීම ජනාධිපතිවරයා අතින් සිදු වු අතර, ජීවිතයට එක් වරක් පමණක් පිරිනැමෙන අතිවිශිෂ්ට සම්මාන 07ක් ඇතුළු සම්මාන 162ක් ප්‍රදානය කෙරිණ. මේ සඳහා ඇසළ පෙරහර භාරය සහ ජනාධිපති කාර්යාලය වාර්ෂිකව අනුග්‍රහය දැක්වීම සිදු කරයි.

    අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඓතිහාසික පෙරහර සමාප්තිය පිළිබඳ කරුණු ඇතුළත් සංදේශය ජනාධිපතිවරයා ප්‍රමුඛ සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

    “ඇසළ පෙරහර භාරය” පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර “පූජනීය දළදා සංස්කෘතිය” ග්‍රන්ථය ද පිළිගැන්විණි.

    අනතුරුව පැවති උත්සව සභාව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,
    “මේ උතුම් වගකීම ඉෂ්ට කිරීම ගැන මම පළමුවෙන්ම දියවඩන නිලමේතුමාට ප්‍රශංසා කරනවා. මේ ඓතිහාසික ඇසළ මහා පෙරහර උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට හැකි වූයේ වසර කිහිපයකට පසුවයි. පසුගිය වසර දෙකේ එය උත්කර්ෂවත්ව පවත්වන්න අපට අවස්ථාව ලැබුණේ නැහැ.
    මෙවර ඉතා අලංකාරවත් සහ සංවිධානාත්මකව පෙරහර පැවැත්වුණා. ඒ වගේම විශාල ජනතාවක් ඊට එක් වුණා. ඒ කටයුතු සංවිධානය කළ දියවඩන නිලමේතුමා, බස්නායක නිලමේතුමන්ලා ඇතුළු සියලුදෙනාට මම ස්තුතිවන්ත වෙනවා.

    රටට අලංකාරවත් පෙරහරක් නරඹන්න අවස්ථාව ලැබුණා. මේ සමගම දෙවිනුවර සිට නල්ලූර් දක්වා පෙරහර පැවැත්වුවා. සතර මහා දෙවිවරුන්ට පමණක් නොව “ශිව” දෙවියන් ඇතුළු අනෙකුත් දෙවිවරු වෙනුවෙන් පෙරහර පැවැත්වුණා. ඒ හැම පෙරහරකටම විශාල ජනතාවක් එක්ව සිටියා. විශේෂයෙන්ම මේ පෙරහර පැවැත්වීම අපේ රටේ සම්ප්‍රදායේ කොටසක්. ඒ වගේම අපේ රටේ පැවැත්මේ කොටසක්. හැම ප්‍රදේශයකම ජනතාව නුවරට එකතු වෙන්නේත් දන්ත ධාතුන් වහන්සේ මහනුවර නගරය වටා පෙරහරින් වැඩම කරවන්නේත් උන්වහන්සේගේන් අපේ රටට ආරක්ෂාව ඉල්ලලා. දෙවියන්ගේ ආරක්ෂාව ඉල්ලලා. මේ රට විපතින් බේරගන්න කියලා කරන ඉල්ලීම කරමින්. ඒක අපේ රටේ සම්ප්‍රදායට ඉතා වැදගත් දෙයක්. ඒ නිසා ඉතා වැදගත් මාසයක් ලෙස ඇසළ මාසය අපි සලකනවා.

    මෙවර පෙරහර මංගල්‍ය වැදගත් වන්නේ එයා ඉතා අසීරු කාලයකදී පැවැත්වීම නිසයි. අනෙක් අතට මේ රටේ විශාල ආර්ථික කඩා වැටීමක් තිබෙන කාලයක්. මේ අසීරුතාව අපි හැම දෙනාටම බලපාලා තිබෙනවා. අපි මෙතනින් මේ කාලය අවසන් කළ යුතුයි. මීට වඩා අභියෝග තිබෙන කාලයක් එන්න පුළුවන්. මේ හැම දෙයකින්ම අපි ගොඩඑන්න ඕන, අපි සූදානම් වෙන්න ඕන ඉදිරියට ඇවිල්ලා එපේ රටට අලුත් ආර්ථිකයක් ගොඩනගා ගන්න.

    මට කිසිම සැකයක් නැහැ දළදා වහන්සේ උදෙසා මහනුවර පැවැත්වූ මේ ඇසළ මහා පෙරහර, රටේ පැවැත්වූ අනෙකුත් පෙරහර ඇතුළු ආගමික උත්සව නිසා අපට විශාල ආශිර්වාදයක් ලැබෙනවා. එය අපට විශාල ශක්තියක්, ආරක්ෂාවක්. මගේ ප්‍රාර්ථනාව මේ විපතින් රටේ ආර්ථිකය ගොඩගැනීම. මේ ආගමික උත්සවවලින් ලැබෙන ආශිර්වාදය ඊට විශාල ශක්තියක්.

    ඒ ශක්තිය සමග අපි ඉදිරියට යමු. රටට හොඳ අනාගතයක් ඇති කරමු. දන්ත ධාතුන් වහන්සේගේ වගේම සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් ලබන වසර වන විට අපේ රට ගොඩගන්න ශක්තිය ලැබෙන්න කියලා මම ඉල්ලා සිටිනවා”

    මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති මන්දිර පරිශ්‍රයේ “නා” පැළයක් රෝපණය කිරීම රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මහාචර්ය රංජිත් බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහනුවර නගරාධිපති කේසර සේනානායක යන මහත්වරුන් ද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාල හා පිටිසර දේවාල නියෝජනය කරන බස්නායක නිලමේවරු හා සෙසු නිලමේවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img