fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ශ්‍රී ලංකන් වෙත සම්මානයක්

    ශ්‍රී ලංකන් වෙත සම්මානයක්

    මාලදිවයිනේ සංචාරක ස්වර්ණ ජයන්තිය සැමරීමේ උත්සවයකදී අඩ සියවසකට අධික කාලයක් පුරා ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් සිදු කරන ලද විශිෂ්ට සේවාව අගයමින් MATI විසින් කීර්තිමත් ‘50 වසරක සංචාරක සම්මානය’ පසුගියදා පිරිනමන ලදී. 1960 දී  එවකට එයාර් සිලෝන් යටතේ මාලදිවයින වෙත මෙහෙයුම් දියත් කළ පළමු ජාත්‍යන්තර වාණිජ ගුවන් සේවය බවට ශ්‍රීලංකන්  පත් වූ අතර එතැන් සිට අඛණ්ඩව නව මාවත් විවර කරමින් මාලදිවයිනේ ගුවන් තොටුපළවල් කිහිපයකට මගීන් රැගෙන පියාසර කරන එකම ජාත්‍යන්තර ගුවන් සේවය බවටද ශ්‍රීලංකන් පත්විය.

    මාලදිවයිනේ සංචාරක කර්මාන්ත සංගමය (MATI) මාලදිවයිනේ සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයට මූලිකත්වය ගෙන ක්‍රියාකරයි. ඒ සඳහා සුවිශේෂී ලෙස දායක වූ සංවිධාන සහ පුද්ගලයින්ට ගෞරව දැක්වීම අරමුණු කරගනිමින් මෙම විශේෂ ස්වර්ණ ජයන්ති සැමරුම් උත්සවය පසුගියදා සංවිධානය කර තිබිණි.මෙහිදී සම්මානලාභීන් තෝරා ගනු ලැබුවේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් විසිනි. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීතුමා වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාලදිවයිනේ කළමනාකාර ෆවුසාන් ෆරීඩ් මහතා සම්මානය පිළිගත්තේය.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටල් මහතා මෙසේ පැවසීය, “ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් ජාලය තුළ මාලදිවයින සැමවිටම සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන තිබෙනවා. වාණිජ පියාසර කිරීමේ ආරම්භයේ සිට මාලදිවයින සමඟ සිටි එකම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් මාලදිවයිනේ සංචාරක ගමනේ සෑම සන්ධිස්ථානයකටම සිය දායකත්වය ලබා දී ඇත. වසර ගණනාවක් පුරා, ගුවන් සමාගම මාලදිවයිනේ විශ්මයජනක හා අසමසම වෙරළ තීරයන් වෙත සංචාරකයින් සිය දහස් ගණනක් සම්බන්ධ කර ඇත. අද ශ්‍රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ සංචාරය කිරීම සඳහා ප්‍රධාන පහසුකම් සපයන ගෝලීය   ගුවන් සේවය ලෙස පවතී. ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාලදිවයිනේ කළමනාකාර ෆවුසාන් ෆරීඩ් මහතා, “මාලදිවයින යනු අපගේ පුළුල් නිවහනයි. විවිධ රටවල ස්ථානගතව සිටින ශ්‍රීලංකන් ගුවන් සේවයේ අපගේ සගයන් මාලදිවයිනට සංචාරකයින් රැගෙන යාම සඳහා විශාල කාර්ය භාරයක් ඉටු කරනවා, එබැවින් මම මෙම සම්මානය ඔවුන් වෙනුවෙන් කැප කිරීමට කැමැත්තෙමි.  කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාව වන විටත් මාලදිවයිනට බාධාවකින් තොරව සේවාවක් පවත්වාගෙන ගිය එකම ගුවන් සමාගම ශ්‍රීලංකන් ගුවන් සේවයයි. එහිදී අතරමං වූ නිවාඩු ගත කරන්නන් 2,000 කට අධික සංඛ්‍යාවක් දූපත්වලින් ඉවත් කිරීමට ගුවන් සේවය උපකාර කළ බවත් මම  සිහිපත් කිරීමට කැමැත්තෙමි. ”

    2016 වසරේ දී Addu Atoll හි Gan දූපත වෙත මෙහෙයුම් සිදු කළ පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපළ බවට ශ්‍රීලංකන් පත්වූ අතර එය මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. තවද, ගුවන් සමාගම මෑතකදී දේශීය ගුවන් සේවය වන Manta Air සමඟ හවුල් වී Gan වලින් ඔබ්බට දකුණු මාලදිවයිනේ ඉහළ මට්ටමේ නිවාඩු නිකේතන කිහිපයකට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා සංචාරකයින්ට අවස්ථාව ලබා දෙන ලදී. තවද, මාලදිවයිනට සම්බන්ධ වීමට ලෝකයේ වඩාත්ම පහසු මධ්‍යස්ථානය වන කොළඹ හරහා ගුවන් ගමන් සපයන එකම ජාත්‍යන්තර ගුවන් සේවය ශ්‍රී ලංකන් වේ.

    මාලදිවයින සඳහා ශ්‍රීලංකන් හි අනාගත සැලසුම් අතරට ගැන් හි කේන්ද්‍රස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීම සහ Maafaru ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත මෙහෙයුම් ඇතුළත් වන අතර එමඟින් සංචාරකයින්ට උතුරු Noonu Atoll සංචාරක නිකේතන සහ දූපත් වෙත වේගවත්ම ප්‍රවේශය ලබා දීමට හැකිවනු ඇත.

    චමරු අමාසර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.