වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විනිවිඳ පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
ගාමිණි අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන් මෙම නියෝගය ලබා දී තිබේ.
ජාතික ලැයිස්තුව සඳහා පත්කරන මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණය අවසන් වී සතියක් ඇතුළත මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කිරීම නීතිමය අවශ්‍යතාවක් බව පෙන්වා දෙමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා සිය පෙත්සමෙන් අවධාරණය කර තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමුකර ඇත්තේ 2020 වසරේ මහා මැතිවරණය අවසන් ව මාස කිහිපයකට පසුව බවය.
එමගින් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස මෙන්ම වැඩ බලන ජනාධිපති වශයෙන් පත්කිරීම නීතියට පටහැනි බව ඔහු සිය පෙත්සමෙන් පෙන්වා දී තිබුණි.