fbpx
තවත්
    මුල් පිටුවspecialරනිල්ගෙ නිවසට ගිනිතබා ගෙල සිඳගත් අරගල සිරස

    රනිල්ගෙ නිවසට ගිනිතබා ගෙල සිඳගත් අරගල සිරස

    මැයි 09, ජුනි 09, ජුලි 09 දැන් මේ 09 රාජපක්ෂවරුන්ගේ නපුරු නවය වී ඇත්තේය. රාජපක්ෂවරු මේ ළිදේ වැටුණේ දැන දැනය. හැට නව ලක්ෂයක් රාජපක්ෂවරුන් ගැන විශ්වාසය තැබුවත් එය තේරුම් ගැනීමට රාජපක්ෂවරුන්ට නොහැකිවිය. අඥාණ සිතුවිලි වලින් පෝෂණය වීම නිසා බලය පමණක් නොව පහසුවෙන් මිනිසෙකුට ලැබිය නොහැකි වැදගත්කමද රාජපක්ෂවරුන්ගෙන් නැත්තටම නැතිවිය.

    ඇතමෙක්ට මෙය විවිධ අයුරින් විග්‍රහ කළ හැකිය. රජ කම් කළත් කළ කම් පල දේ යැයි ගම්මු කියන කතාව ඇස් පනාපිට පෙනෙන්නේ රාජපක්ෂලා කෙරෙන්යැයි ඇතමෙක්ට කිව හැකිය. රට බේරාගත් නායකයන්වීම වැනි ඕනෑ තරම් හොඳ තිබුණත් ඒවායින් උද්දච්ච වීම නිසා බොහෝ දේ නැතිවී ගියේය.

    රාජපක්ෂවරුන්ට ආදරය කළ බහුතරය ගම්මුය. කොළඹ පැලැන්තියේ මිනිස්සු රාජපක්ෂවරුන්ට ආදරය කරන්න ගත්තේ පසුවය. එහෙත් මෙවර බලය දිනාගත් තැන සිටම රාජපක්ෂවරුන්ට වැරදිනි. අධික බලය මිනිසා දූෂණය කරන බවට වන දේශපාලන න්‍යාය මෙවර මහ පොළොවේ යථාර්ථයක් වී ඇති සෙයකි.

    හැට නව ලක්ෂයක් මිනිස්සුන්ගේ ඡන්ද පදනම තිබුණේ තනි ඒකාධිපති ගෝඨාභය කෙනෙකු වෙනුවෙනි. එවකට ගෝඨාභය එවකට පූටින් කෙනෙකු වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළහ. කන්න නැතිව පාන් පෝලිම්වල සිටි රුසියානුවෝ එම පෝලිම් ක්‍රමයෙන් පිටට ගත් පූටින් ලොව ප්‍රභලම රටක පුරවැසියන් ලෙස රුසියානුවන්ට සංවර්ධනය ගෙනාවේය.

    ගෝඨාභය බලයට පැමිණෙනවිට රට තුළ පෝලිම් තිබුණේ නැත. එහෙත් මහ බැංකු වංචා, ත්‍රස්ත ප්‍රහාර ගැන බියක් ජනතාවට තිබිණි. බලයට පැමිණ ගෝඨාභයට තිබුණේ තමන්ට පැවරුණු ජනවරම ආරක්ෂා කරගෙන ඉදිරියට යාම පමණි. ගෝඨාභය දේශපාලකයකු නොවන නිසා ඒ ලෙසටම ඔහු ඉදිරියට යනු ඇතැයි මිනිස්සු විශ්වාස කළහ.

    සිදුවූයේ හාත්පසින් වෙනස් දෙයකි. ගෝඨාභය වටා දූෂිත දේශපාලඥයන් කිහිප දෙනෙකු දැවටුණු අතර ගෝඨාභය සිතුවේ බලය සමඟ ඔවුන් තමන්ව ආරක්ෂා කරනු ඇතැයි කියාය. ගෝඨාභය ජනපතිවනවිට සොහොයුරා මහින්ද අගමැතිවිම ආණ්ඩුවේ විනාශයට ළඟ ළඟ පාර කැපුනේය. අයියා හොඳයි කීවත් වැරදියි. මල්ලි හොඳයි කීවත් වැරදියි කියන තැනට මේ සින්දුව ජනතාව අතරට ආවේය. පවුලේ සමගිය පෑල දොරෙන් ඉගිලී යෑම නිසා අයියලා මල්ලිලා ගෙදර කෑම මෙසේ විසඳගත යුතු ප්‍රශ්න ජනතාව ඉදිරියේ තැබූහ.


    මේ පාලනයට ආ මාධ්‍ය ඔස්තාර්ලා ඊට නොදැවිනිය. ඔක්කොම එහෙයියෝය. ගෝඨාභය ජනපති වීමට පෙර සිටි මාධ්‍ය මිතුරෝ කිසිවෙකුවත් ඔහුගේ මාධ්‍ය ඒකකයට නොගෙන උද්දච්ච වෙද්දි, මහින්දට සිදුවුණේ ද ඔහුගේ මාධ්‍ය ඒකකයේ සිටි මාධ්‍ය ගැන දැනුමක් තිබෙන අය සමඟ කතා කිරීමටවත් එහි වෙස්වලා සිටි මාධ්‍ය ජනරාල්ලා ඉඩ නොතැබීමයි.

    ඊට දෙදෙනාගේම පරිපාලන ලේකම්වරු ද සම සමව වගකිව යුතුය. ඩීල් වලින් තොර ලෝකයක් සිතා ගන්නට බෑ… සිතාගන්නට බෑ ගීතය ගයමින් සිටිනවා හැරෙන්නට ඔවුන් ද ඔවුන්ගේ නායකයා වෙනුවෙන් කළ අඹමල් රේණුවක වැඩක් නැත. මේ පාඩම නොකියවා ඉදිරියට එන නායකයකුට වුවද සිදුවන්නේ මේ සන්තෑසියම බව පැහැදිලිය. මුදල් ලේකම්, මහ බැංකු අධිපතිලා කරන්නේ මොනවාදැයිවත් නොතේරෙන නායකයන්ටනම් රටක් කරන්න බැරිය. රටක භාණ්ඩාගාරය හිදෙන තුරු මේ රාජ්‍ය නිලධාරින් ද එහෙයියන් වී සිටි බව අද අරගලකරුවන්ටත් පවා අමතක වීම හාස්‍යයකි.

    දැන් නැවෙන් හෝ ගුවනින් ගෝඨා පියඹා යනු ඇතැයි සිතමු. එහෙත් ඔබ ඉතිරි කළ ප්‍රශ්න නම් දවසෙන් දෙකෙන් විසදෙන්නේ නැත. ඒ කෙසේ වෙතත් ජනතාව අන් කවරදාටත් වඩා දේශපාලඥයාගේ අදබාල තීන්දු තවදුරටත් ඉවසා නොසිටින තැනට පත්ව ඇත. අරගලයේ ඇති එකම හොඳ නිහඩව නොසිට ජනතාව එකාවන්ව දූෂිත හා අඳබාල නායකයන්ට එරෙහිව හිට ගැනීමයි.

    එසේ වුවත් අරගලකරුවන්ට හෝ අරගලයේ ජයග්‍රහණයක් ලෙස හැමදාම රටක් දුවන්නට බැරිය. මාධ්‍ය ඒ සඳහා ජනතාවට ලබා දිය යුත්තේ නිවැරදි උත්තේජයයි. ගෝඨාභය වෙනුවෙන් බැල මෙහෙවර කළ මාධ්‍ය ඉදිරියට ගිය අරගලකරුවන් ඔවුන්ට ජාතියෙන් සමාව ගන්නැයි කියන ගමන්ම අරගලයේ උත්කර්ෂය නංවන මාධ්‍ය ඉතා සංයමයෙන් එය මෙහෙයවිය යුතුය. ඊට හොඳම උදාහරණය අදය.

    ලංකා ඉතිහාසයේ අරගලකරුවන් පිරිසක් පැමිණ රටේ විධායක ජනාධිපතිවරයාගේ නිල නිවස අල්ලා ඉන් නොනැවතී ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස අරලිය ගහ මන්දිරය, අල්ලා ගත්තේ අද දිනය. අරගලකරුවන් අතින් එය ජයග්‍රහණයක් වෙද්දී. තවත් අරගලයක් මාධ්‍ය හා සමපාත වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහගේ පස්වැනි පටුමගේ නිවස අසල පැවැත්විණි.

    මෙහිදී සිරස මාධ්‍යවේදින්ට පොලිසිය සහ එස්.ටි.එෆ් අමානුෂික පහරදීම ගින්නකින් කෙළවරවනතුරු මාධ්‍ය උත්කර්ෂයට නැගිනි. රනිල්ගේ නිවස ගිනි තැබුවේ රනිල් සිය අගමැතිකමින් ඉවත්වන බවත්, මාධ්‍යවේදීන්ට පහර දීම හෙළා දකින බවත් ප්‍රකාශ කර තිබියදීය. අනෙක් වැදගත්ම දේ රනිල් මේ ගිනි තැබූ නිවස කොළඹ රාජකීය විද්‍යාලයට පවරා තිබුණේ මීට බොහෝ කලකට පෙරය. එසේ තිබියදී වටිනා දේශපාලන පොත්පත් හා ඉතිහාසයක් සමඟ රනිල්ගේ ගෙදර ගිනි තැබීමෙන් සිදුවූයේ අරගලයට කළු පැල්ලමකි.

    මේ රටේ මිනිස්සු විරෝධාර එඩිතර මිනිස්සු මෙන්ම මේ ගිනි තැබීම් ප්‍රතික්ෂේප කරන ගිනි තැබීම්වලට කම්පාවෙන පිරිසකි. 88/89 ගිනි තැබීම් තවමත් මිනිස්සු මනසින් ඉවත් නොකරන්නේ ඒ නිසාය. අනුර කුමාරලාට අදටත් හරහට හිටින්නේ මේ අතීත මතකයයි. වාසිය සජිත්ට පෙරළන්නේ මේ ගින්නය. අරගලය හොඳය ඒත් සිරස ට යටින් තිබෙන ගෙල නම් සිඳ නොගත යුතුය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.