fbpx
තවත්
    මුල් පිටුවspecialබිඳුණු සබඳතා කළමනාකරණය

    බිඳුණු සබඳතා කළමනාකරණය

    මානව ජීවිතයේ පදනම  සබඳතා  ලෙස හැදින්වීම නිවැරදිය .පවුල තුල, ආදරවන්තයන්  අතර, විවාහය තුල නෛතික වශයෙන් හෝ විවාහයෙන් පරිබාහිරව ඇතිවන අනියම් සබඳතා හෝ   එසේත් නැත්නම්  මිතුරන් හෝ  වෙනත් සමාජ කණ්ඩායම් අතර  විවිධ අරමුණු සඳහා ගොඩනගාගත්  විවිධ අන්දමේ සබඳතාවන්  දැක ගැනීමට පුළුවන. සබඳතා ගොඩනගාගන්නේ නොයෙකුත් අවැසි කම්  සඳහා වුවද සබඳතා තුලින් පොදුවේ බලාපොරොත්තු වන්නේ සතුට හා ආරක්ෂාව වැනි ධනාත්මක ප්‍රතිපලයන්ය . එසේ වුවද  සබඳතා සෑමවිටම  ගෙනදෙන්නේ යහපත්  හා සතුටු දායක තත්වයන් පමණක් නොවේ .සමහර විෂ සහිත  සබඳතාවන්  ඔබට ඍණාත්මක භාවය ලගා කරයි .ධනාත්මක  සබන්ධතාවන් වුවද පීඩාකාරී ලෙස අවසන් විය හැකිය .එක පාර්ශවයක් විසින් හෝ පාර්ශව දෙකම විසින් බඳතාවය අවසන් කිරීම සිදුකල හැකිය . සබඳතා බිදීයාම යනු   පුද්ගලයකුට  ජීවිත කාලය තුලදි මුහුණදීමට සිදු වන ඉතා අසීරුදායක තත්ත්වයකි. විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම,විවාහයෙන් දික්කසාද වීම, තමාගේ ආදරණීයයෙකු මියයාම වැනි විවිධාකාර සමීප සම්බන්ධතාවයන් බිඳවැටීම කෙනෙකු තුළ ඇති කරවන්නේ ඉතා පීඩාකාරී මානසික තත්ත්වයකි. අනෙක් පුද්ගලයා විසින් සබඳතාවය අවසන් කිරීම හෝ තමා විසින්ම සබඳතාවය අවසන් කිරිම යන  කුමන හෝ තත්ත්වයක අවසන් ප්‍රතිඵලය පීඩාකාරී  වන්නේ බොහෝ සබඳතාවයන් භාවමය හා  හැඟීම් බර ඒවා වීමයි.සමහර සබඳතා කෙටිකාලීන වුවද තවත් සබඳතා දීර්ඝ කාල කාලයක් තිස්සේ පැවති ඒවා වීමට පුළුවන.කාල සීමාව කෙටි හෝ දිගුකාලීන වුවත් එම සම්බන්ධතා බිඳවැටීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ මානසික ව්‍යාකූලතාවයකට  පත්වීමයි. විරහ වේදනාව යනුවෙන් ද හැඳින්වෙන මෙම තත්ත්වය පාලනය කිරීම හෝ කළමනාකරණය කර ගැනීම විධිමත් ආකාරයට සිදු නොකිරීමෙන් බොහෝ ගැටළුකාරී තත්වයන් මතුවිමට පුළු වන.සබඳතා බිඳ වැටීම නිසි අයුරින් කළමනාකරණය කරගැනීමෙන් ඕනෑම අවස්ථාවක ඕනෑම පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යය සමබරතාවය ගිලිහී යෑමට පුළුවන.එසේම ඒ තත්ත්වය තුළ දී එදිනෙදා ජීවිතයේ කටයුතු බිඳ වැටීම,අධ්‍යාපනයට හෝ ආර්ථිකයට හෝ වෙනත් සමාජමය අවස්ථාවන්වලට හානි පැමිණවීම හෝ ශාරීරික හානි හෝ සියදිවි නසා ගැනීම් දක්වා ම  මෙම තත්ත්වය ගමන් කිරීමටත් පුළුවන.සබඳතා බිඳ වැටීමේදී පසුව ඇතිවන තත්ත්වය  හොඳින් කළමනාකරණය කර ගැනීමට හැකි වුවහොත්, අවසන් වූ සබඳතාවය මතම නොසිට ඉදිරි අනාගතය වඩාත් යහපත් අයුරින් සකසා ගැනීමට හැකිවනු ඇත.බිඳී ගිය සබඳතාවයකින් පසු නැවත යථා තත්ත්වයට පැමිණීමට පියවර කීපයක් ඔස්සේ කටයුතු කිරීමට පුළුවන.

    1තමාට හැඟෙන දේ පිළිගැනීම .

    පෙම් සබඳතාවය බිඳී යාම හෝ දික්කසාද වීම හෝ වෙනත් කිසියම් ආකාරයක සම්බන්ධතාවයක් බිඳ වැටීමෙන් පසු ඇති වන්නේ ධනාත්මක සිතුවිලි නොවේ.දුක, වේදනාව,කම්පනය,ප්‍රතික්ෂේප වීම,පාවා දුන් බව හැඟීම,බය හෝ තමා ලැජ්ජාවට පත් වූවා වැනි හැඟීම වැනි පරාජිත හැඟීම් ඇතිවීම සබඳතාවක් අවසන් වූ විට ඇති වීම සාමාන්‍ය තත්ත්වයකි.මේ තත්ත්වය සාමාන්‍ය තත්වයක් බව පිළිගනිමින් එම හැඟීම් සඳහා මුහුණ දීම පලවෙනි පියවර යටතේ සිදුකළ යුතුය.තමාගේ සබඳතාවය අවසන් වූ බවත් තවදුරටත් තමාගේ සහකරු හෝ සහකාරිය තමා සමග නොසිටින බවත්ඒ සඳහා තමන් තනිව මුහුණ දිය යුතු බවත් අවබෝධ කර ගැනීම සිදුකළ යුතුය.එවිට මෙම තත්වයට ධනාත්මකව මුහුණ දීම වඩාත් පහසු කාර්යයක් වනු ඇත.

    2හැගීම් පාලනය කර ගැනීම සඳහා කෙටිකාලීන ක්‍රමවේදයන් අනුගමනය කිරීම.

    විශේෂයෙන්ම දිගු කාලීනව පැවති ප්‍රේම සම්බන්දතාවයක් හෝ විවාහය වැනි සම්බන්ධතාවයක්  බිඳ වැටුණු විට එය දරා ගැනීම හා ඉන්පසු ඇතිවන බාධාකාරී හෝ දුෂ්කර තත්වයන්ට මුහුණ දී, තනිවම නැවත ධනාත්මකලෙස ගොඩ නැගීම ඉතා අපහසු වීමට පුළුවන.මෙවැනි අවස්ථාවකදී වෘත්තීය මැදිහත්වීමක් සිදුවන්නේ නම් එය ඉතා වැදගත් වනු ඇත.සුදුසුකම් ලත් හා පළපුරුද්ද සහිත වෘත්තීය මනෝ උපදේශකවරයකුගේ සහාය ලබා ගැනීම මෙහිදී විශේෂයෙන්ම වැදගත්වේ. මෙතෙක් තම ජීවිතයේ කොටසක් හෝ ජීවිතය ම ලෙස  සැලකූ සහකරු හෝ සහකාරියගෙන් වෙන්වීමෙන් පසු, භාවමය වශයෙන් ඉතා අපහසු හා ව්‍යාකූල තත්ත්වයක සිටියදී  එම තත්ත්වය වඩාත් හොඳින් කළමනාකරණය කර ගැනීම සඳහා එම වෘත්තීය මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. සබඳතාවය බිඳී යාම තුළින් ඇති වූ ගැටළුකාරී හා පීඩා දායක තත්ත්වය තුළින් නිවැරදි තීරණ ගැනීමේ දී මනසේ  නිරවුල් සමබර භාවය ගිලිහී යාම  සිදුවෙන නිසා වෘත්තීය මනෝ උපදේශකවරයෙකුගේ  සහය ලබා ගැනීම තුළින් වඩාත් සාර්ථක තත්ත්වයක් ළඟා කර  ගැනීමට හැකිවනු ඇත.

    එසේම සබඳතාවය බිඳී යාම තුළින් ඇති  වූ ශෝකයෙන් හෝ දුක්බර තත්වයේ  දිගටම ගිලි  නොසිට, තමා තනිව හුදෙකලා නොවෙමින් තමාගේ යහළුවන්,පවුල හෝ වෙනත් සමාජ කණ්ඩායම් සමග වඩාත් සමීපව හා ක්‍රියාශීලී ලෙස සමාජයීය ජීවිතයක් ගත කිරීම තවත් සාර්ථක පියවරකි.බිඳී ගිය සබඳතාවය තුළින් ඇති වූ පාළුව,කාන්සිය ශෝකය වැනි පීඩාකාරී,ඍනාත්මක හැඟීම් වෙනුවට මිත්‍රශීලී ධනාත්මක හැගීම් ඔබ තුළ වර්ධනය වනු ඇත. එමෙන්ම  පවුල හෝ හිතමිතුරන් ගේ  කටයුතු වෙනුවෙන් කාර්ය බහුලවීම හේතුවෙන් ඔබට ශෝක වීමට කාලයක් ඉතිරි නොවනු ඇත.  මිතුරන් හා ඇතිවන සබඳතාවන් හෝ වෙනත් සමාජ කණ්ඩායම් සමග ඇතිවන සබඳතාවන් ඔබට අනාගතයේ දී නව  සබඳතාවයන් ගොඩනගා ගැනිමට මග පාදනු ඇත.එසේම මේ තුළින් ඔබ තුළ ඇතිවතිබු   මානසික අවපීඩනකාරී තත්වයන්   අවම කරනු ඇත.

    සමහර සබඳතාවයන් බිඳී යාම තුළින් ඔබගේ ජීවිතය උඩු යටිකුරු කරනු ඇත. විවාහය වැනි සබඳතාවයක් බිඳීයාම  තුලින් ඔබ ජිවත් වෙන ස්ථානය පවා වෙනස් වීමේ අවධානමක් මතුවේ.තමා මෙතෙක් කල් ජීවත් වූ වටපිටාවෙන් ඉවත් වී, ආදරය කළ පිරිසකගෙන් දුරස් වී යාමට සිදුවීම තුළින් දැඩි ආතතිකාරී තත්වයක්  ඇතිවනු ඇත.එසේම ඒ තුළින් දුක, අසහනය හා තනිවීම වැනි  මනෝභාවයන්ට ඔබ ගොදුරු වනු ඇත.මෙවැනි අවස්ථාවක් ඔබ හොඳින් කළමනාකරණය කර නොගතහොත්  ඔබගේ මානසික සමබරතාවය පමණක් නොව ශාරීරික සෞඛ්‍ය පවා අවධානමකට හෙලෙනු ඇත.මෙබඳු අවස්ථාවක දී ඔබ විසින් නව ස්ථානයක  ජීවිතය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික පියවරයන් ගත යුතුය.අලුත් ස්ථානයක පදිංචි වීම සඳහා ඔබට  අවශ්‍ය කරන මූල්‍යමය තත්වයක් නොමැති නම් ඔබට සමීපතම පුද්ගලයෙකුගෙන් හෝ පවුලෙන් හෝ යම්කිසි යම්කිසි උදව්වක් ලබා ගනිමින් නව ස්ථානයක ඔබගේ ජීවිතය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික පියවරයන් ගත යුතුය.ඉන්පසු ඔබගේ ම දෙපයින් නැගී සිටින සඳහා අවශ්‍ය කරන කටයුතු සැලසුම් කළ යුතුය.

    3දිගු කාලීන විසඳුම් සඳහා අවධානය යොමු කිරීම.

    මානසික සෞඛ්‍ය වර්ධනය කරගැනීම.

    ලෝකයේ වෙනස් නොවන එකම දෙය වෙනස් වීමයි. දුක, ශෝකය වැනි කරුණු සඳහා වුවද මෙම පොදු ධර්මතාව  එකසේ අදාළ වේ . ඕනෑම දෙයක් සම්බන්ධයෙන් පැන නගින දුක හෝ ශෝකය සෑමදා පවතින්නේ නැත සබඳතාවයක් අවසන්වීමෙන් පසු ඇතිවන  අර්බුදකාරී, ශෝකජනක හා ව්‍යාකූල තත්වය ද ක්‍රම ක්‍රමයෙන් අඩු වී යනු ඇත.පෙම්වතා හෝ පෙම්වතිය නොමැතිව ජීවත් වීමට නොහැ කිය යන මතයක මුලින් සිටිය ද, සබඳතාවක් අවසන් වීමෙන් පසු ක්‍රමයෙන් එම අදහස  කාලය ගතවීම සමග සහ එය කළමනාකරණය කර ගන්නා ආකාරය අනුව එම තත්ත්වය වෙනස් වී යයි. සබඳතාව බිඳීයාමට සාර්ථක ලෙස  මුහුණදීමට මානසික සෞඛ්‍ය හා මානසික සමබරතාවය රැක ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.මේ සඳහා ඔබ සමාජශීලී හා ක්‍රියාකාරී ව සිටිය යුතු වේ.මේ තුළින් ඔබගේ වියෝ වේදනාව හා ආතතිකාරී තත්වය ක්‍රමයෙන් පහව යාම සිදුවනු ඇත. මානසික සෞඛ්‍ය වර්ධනය කර ගැනීම සඳහා  ධනාත්මකව  සිතීම හා භාවනාව, යෝග වැනි ක්‍රමවේදයන් ඔබට භාවිතා කිරීමට පුළුවන.

    ස්වයං ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කිරීම

     ඔබ ඔබ ගැන අවධානය යොමු නොකළහොත් ඔබට අනිත් අය ගැන අවධානය යොමු කිරීමට ඇති හැකියාව හීන වනු ඇත.එහෙයින් ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ තමා ටය. මෙතෙක් කල් ඔබගේ සහකරු හෝ සහකාරිය පිළිබදව පිළිබඳව ඔබගේ අවධානය යොමුකර සිටියේනම් සබඳතාවය  බිඳ වැටීමෙන් පසු ඔබ සිදු කළ යුත්තේ වෙනදාටත් වඩා ඔබ ගැන අවධානය යොමු කරමින් ඔබව ආරක්ෂා කර ගැනීමයි.ඒ තුළින් වඩාත් ශක්තිමත් වීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

    ඔබ ගැන විශ්වාසය වැඩි දියුණු කර ගැනීම.

    පෙම් සබඳතාවක් බිඳ වැටීම හෝ දික්කසාදය වැනි බිඳවැටීම් තත්ත්වයකින් පසුව ඔබ  තුල අනෙක් පුද්ගලයන් කෙරෙහි ඇති විශ්වාසය අඩුවනු ඇත.එසේම ඔබ, ඔබ කෙරෙහි ඇති විශ්වාසය ද  අඩු වී යනු ඇත.අනිත් පුද්ගලයන් විශ්වාස නොකරන තත්ත්වයකට පත්වීම තුළින් සමාජ සබඳතා පැවැත්වීමේදී ඔබට නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇත. නැවත සබඳතාවක් ගොඩනඟා ගැනීමේදී මෙය ඔබට බාධාවක් වීමට පුළුවන.මෙම තත්ත්වය  ඔබට අයහපත් ලෙස බලපානු ඇත.එබැවින් ඔබ, ඔබ ගැන මුලින්ම විශ්වාසය ගොඩනඟා ගෙන ඉන්පසු අනෙක් පුද්ගලයන් කෙරෙහි පවතින විශ්වාසය වැඩි දියුණු කර ගත යුතුය.ඒ තුළින් ඔබට ඔබ කෙරෙහි ධනාත්මක භාවයක් ඇතිවනුඇත. මේ සඳහා ඔබට මනෝ උපදේශකවරයෙකු ගේ මැදිහත්වීම ද අවශ්‍ය නම් ලබාගැනීමට පුළුවන.

    නව සබඳතාවන් ගොඩනඟා ගත යුත්තේ කෙසේද?

    බිඳවැටුණු සම්බන්ධය අමතක කිරීම සඳහා අලුත් සබඳතා ඇති කරගැනීම සිදු නොකළ යුතුය.එය ඔබේ නව සබඳතාවයටත් ඇති කරන්නේ ගැටළුවකි. ප්‍රමාණවත් තරම් කාලය රැගෙන මුල් සබඳතාවේ දුක, ශෝකය මතකයන් ඉවත් කොට අළුත් සබඳතාවක් කරා යා යුතුය.

    සබඳතා බිඳ වැටීමෙන් පසුව එළඹෙන කාල සීමාව  තුළදී ඇතිවන මානසික අවපීඩන තත්වයන් අවම කර ගැනීම සඳහා  ඔබටම ගත හැකි සරල පියවරයන් කිහිපයක් පහත පරිදි හඳුනා ගැනීමට පුළුවන.

    ශාරීරික ව්‍යායාම වල නිරත වීම.

    ව්‍යායාම වල නිරත වීම තුළින් ඔබගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් වී ඔබගේ ශක්තිය වැඩි දියුණු වනු ඇත. එසේම හෝමෝන ක්‍රියාකාරිත්වයන් යහපත්  වී ඔබගේ ශාරීරික මානසික යහපැවැත්ම කෙරෙහි යහපත් අයුරින් බලපානු ඇත

    අවම වශයෙන් ම සතියකට තුන් වරක් වත්, දිනකට විනාඩි 30 බැගින්  ශාරීරික අභ්‍යාස වල නිරත වීම තුළින් ඔබගේ ශාරීරික මානසික යහපැවැත්ම වර්ධනය වනු ඇත.

    ළුත් දේ සමගින්කාර්‍යබහුල වීම.

    බිඳී ගිය සබඳතාවය ගැන පසුතැවෙමින් සිටිනවාට වඩා, එම කාලය තුළ ඔබගේ මනස වෙනත් කටයුතු සඳහා යෙදවීම තුළින් ඔබට ශෝක වීමට කාලයක් ඉතිරි නොවනු ඇත.මෙතෙක් අවධානය අවධානයක් යොමු නොකල  පොත්පත් කියවීම,ඇවිදීම, සංචාරය වැනි විනෝදාංශ ආරම්භ කිරීම හෝ තමාගේ වෘත්තීයට අදාල අලුත් ව්‍යාපෘති හෝ නව කාර්යයන් ආරම්භ කිරීම, එසේත් නැතිනම් ගෙවතු වගා කිරීම වැනි නව කාර්යයන් සමග සමග කාර්යබහුල වීමත් සමඟම ඔබගේ මනස නව කාර්යයන් සඳහා අනුගත වනු ඇත.

    ප්‍රමාණවත් නින්දක් ලැබීම.

    ප්‍රමාණවත් පරිදි නින්ද හා විවේකය ලැබීම තුළින් ඔබගේ මානසික සෞඛ්‍යය  වර්ධනය වන අතර සබඳතාවය බිඳී යාම කළමනාකරණය කර ගැනීම සඳහා ඔබට ශක්තිමත් ධනාත්මක භාවයක් හිමිවනු ඇත.

    වෙනත් ප්‍රතිකාරාත්මක ක්‍රම භාවිතා කිරීම.

    ඖෂධ ප්‍රතිකාර ලබා නොගන්නා අවස්ථාවලදී සම්බාහනය, නිල චිකිත්සාව හෝ කටු චිකිත්සාව වැනි ක්‍රමවේදයන් භාවිතා කරමින් ද මානසික ආතතිකාරී තත්වයෙන් ඉවත් වීමට කටයුතු කළ හැකිය.එසේම පෝෂණීය ආහාර ලබා ගැනීම හා අවශ්‍ය පරිදි අතිරේක පෝෂණ අතිරේකයන් ලබා ගැනීම තුළින් ශාරීරික මානසික සෞඛ්‍යය සංවර්ධනය වනු ඇත.

    මෙම ක්‍රමවේදයන්  අනුගමනය කිරීම තුළිනුත්  ඔබට  බිඳ වැටුණු සබඳතාවය ඔස්සේ ඇති වූ ශෝකය, පීඩාව හෝ මානසික අවපීඩනකාරී තත්වය පාලනය කර ගැනීමට නොහැකි නම්, ඔබ සිදු කළ යුත්තේ වෛද්‍ය  ප්‍රතිකාර කරා යොමු වීමයි. වෛද්‍ය නිර්දේශ මත ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම තුළින් ඔබේ ස්නායු පද්ධතිය යථාවත් වීම හා මොළයෙහි රසායනික සංයුතිය සමබර භාවයට පත්වීම තුළින් ඔබට සහනයක් ළඟා වනු ඇත.

    සබඳතා බිඳවැටීම ඒකපාර්ශවික හෝ ද්විපාර්ශික හෝ මොනයම් ආකාරයෙන් සිදු වුවත්, එය ගෙනදෙන පීඩාකාරී තත්ත්වය නම් අඩුවක් සිදුවන්නේ නැහැ.ඒ තුළින් ඇතිවන මානසික බිඳවැටීම්, ශාරීරික හානි හෝ ජීවිත හානි දක්වාම ගමන් කරන්නට පුළුවන්.අනෙක් අතට සබඳතා බිඳවැටීම ඔබට පමණක් සිදු වූ දෙයක් නොව පොදු ධර්මතාවයක් ලෙස  දකිමින්, බිඳ වැටුණු සබඳතා පිළිබඳව ශෝක වෙමින් නොසිට එම තත්ත්වය වඩාත් හොඳින් කළමනාකරණය කර, මානසික සෞඛ්‍ය සමබර කර ගැනීම තුළින් ඔබට අනාගතයේ යහපත් නව සබඳතා කරා යොමු වීමට හැකිවනු ඇත.

    ප්‍රවීණ මනෝ උපදේශිකා ආර්. එම්. සංජීවනී සෙනෙවිරත්න

    සාම විනිසුරුවරියක් වන ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ උපදේශන මනෝවිද්‍යාව සහ මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාවක් ඇතුළුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති ක්‍රමය පිළිබඳ විශේෂ උපාධියක්ද හදාරා ඇත. මත්ද්‍රව්‍ය ඇබ්බැහි තාවය පිලිබඳ උපදේශනය, විශේෂ පුහුණු මෙන්ම ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරීනිය ලෙස කටයුතු කරයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ප්‍රවීණ මනෝ උපදේශිකා ආර්. එම්. සංජීවනී සෙනෙවිරත්න
    සාම විනිසුරුවරියක් වන ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ උපදේශන මනෝවිද්‍යාව සහ මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාවක් ඇතුළුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති ක්‍රමය පිළිබඳ විශේෂ උපාධියක්ද හදාරා ඇත. මත්ද්‍රව්‍ය ඇබ්බැහි තාවය පිලිබඳ උපදේශනය, විශේෂ පුහුණු මෙන්ම ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරීනිය ලෙස කටයුතු කරයි.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.