fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අටලුගම දැරිවියගේ මරණය ඝාතනයක්

    අටලුගම දැරිවියගේ මරණය ඝාතනයක්

    අතුරුදන්ව සිටි අටලුගම පදිංචිව සිටි නව හැවිරිදි දැරිවියගේ මරණය ඝාතනයක් බව මූලික පොලිස් පරීක්ෂණවලින් පෙනීගොස් තිබේ.

    ඇගේ මළසිරුර හමුවන්නේ නිවසේ සිට මීටර් 150 ක් පමණ වූ දුරකිනි.

    වගුරුබිමක් බවට මේ වනවිට පත්ව ඇති පුරන් වූ වෙල්යායකට වැසි ජලය සහ අප ජලය බැසයන කුඩා ඇල මාර්ගයක ඇගේ මළ සිරුර වලදමා තිබී ඇත.

    ඊයේ සවස එම ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාවත් සමඟ ගලා ගිය ජල පහරට වලදමා තිබුණු සිරුරේ කොටසක් මතුවී තිබී ඇති බවත් දැරිවියගේ පාවහන් යුගල එම ඇල මාර්ගය ආසන්නයේ තිබෙනු දුටු තරුණයන් තිදෙනෙක් සැකයට එම ඇල ඔස්සේ ගමන් කිරීමේදී මෙම ඇලේ වලදමා තිබුණු සිරුර දැක තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

    දැරිවිය අතුරුදන්ව ඇත්තේ නිවසේ සිට මීටර් 250 ක් පමණ දුරින් පිහිටි වෙළද සැළකට ගොස් කුකුල් මස් රැගෙන නිවස බලා යමින් සිටියදීය. ඇය කුකුල් මස් රැගෙන ගමන් කරන අයුරු වෙළදසැළක ඇති ආරක්ෂක කැමරාවක සටහන්ව තිබී ඇත.

    ඇගේ පියා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිටින්නෙක් බවත් දැරිවිය අතුරුදන් වන විට ඔහු නිවසේ සිට නැති බවත් පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. දහවල් ආහාරයට පිසීම සඳහා මස් රැගෙන ඒමට වෙළදසැළට ගිය දියණිය නිවසට නොපැමිණීම නිසා ඒ ගැන ඇගේ මව කළ සොයා බැලීමකදී දැරිවිය අතුරුදන්ව ඇති බව පෙනී ගොස් ඇත.

    දැරිවිය අතුරුදන්වන්නේ සිකුරාදා දහවල් කාලයේදීය. යාඥා මෙහෙය සඳහා මුස්ලිම් බැතිමතුන් මෙදින දහවල් වැඩි වශයෙන් පැමිණෙන බැවින් එම බැතිමතුන්ගේ සහයෙන්ද දැරිවිය සොයා මුළු ගම්මානයම පිරිස්සා ඇතත් ඊයේ දවස තුළ ඇයව හමුනොවූ බැවින් පොලීසියට ඒ ගැන ඇගේ මව පැමිණිලි කර ඇති බව සදහන්ය.

    ඇගේ මළ සිරුර හමුවන ඇල මාර්ගය ඇත්තේ ඇය නිවසට ගමන් කරන මාර්ගයේ නොවන බවත් නිවසට ගමන් කරන මාර්ගයෙන් හැරී යන අතුරු මාර්ගයක බවත් පොලීසිය සඳහන් කරයි. එම අතුරු මාර්ගයට දැරිවිය ගමන් කළේ අතුරු මාර්ගයේ රැදී සිටි යම් පුද්ගලයෙක් ඇයට කතාකර එම මාර්ගයට ඇයව කැදවූ නිසාදැයි සැකයක් ද මතුව තිබේ. මෙසේ ඇයව අතුරු මාර්ගයට කැදවූ පුද්ගලයා යම් අපරාධයක් දැරිවියට කිරීමේ අරමුණින් එසේ ගෙන්වා ගත්තේද නැති නම් ඇය අත තිබූ මස් පාර්සලය හෝ මුදල් පැහැර ගැනීමක් අරමුණ වූයේදැයි සැකයන්ද මේ වන විට මතුවී ඇත.

    ඇගේ පාවහන් යුගල ඇති ස්ථානයත් මළ සිරුර හමුවන ස්ථානයත් අතර පරතරය දෙස බැලීමේදී ඇගේ මරණය සිදුව ඇත්තේ අතුරු මාර්ගයේදී නොව, ඇල මාර්ගයේදී බව පැහැදිලි සැකයක් මතුවන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    දැරිවියට මෙම අපරාධය කළ අය සොයා පරීක්ෂණ පැවැත්වෙන බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව මෙන්ම දැරිවියට සිදුවී ඇති අපරාධ ගැන පැහැදිලි නිගමනයකට එළඹිමට හැකිවනු ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.