fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදේශ සංසදයක් හදන්න අගමැති රටවල් 5ක් සමඟ මූලික සාකච්ඡා අරඹයි

    විදේශ සංසදයක් හදන්න අගමැති රටවල් 5ක් සමඟ මූලික සාකච්ඡා අරඹයි

    රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම උදෙසා මූලික පියවරක් ලෙස, අග්‍රාමාත්‍ය රනිල්‌ වික්‍රමසිංහ මහතා අද සිය ධුරයේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව මෙරට සිටින ඉන්දීය, අමෙරිකා, බ්‍රිතාන්‍ය, චීන, ජපාන රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.

    මේ මොහොතේ මෙරටට මූල්‍යධාර ලබාගැනීම උදෙසා මිත්‍රපාක්ෂික රටවල් සමඟ විදේශ සංසදයක් සකස් කළ යුතු බවට ද මීට පෙරද ශ්‍රී ලංකාව අසීරු අවස්ථාවල එවැනි සංසද සකස් කොට සාර්ථක ප්‍රතිඵල අත්විඳි බවට රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙරද පාර්ලිමේන්තුවේදී අවධාරණය කර තිබුණි.

    ඒ අනුව අද දිනයේදී අග්‍රාමාත්‍යවරයා ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, ජපාන තනාපති මිසුකොෂි හිදෙකි, ඇමරිකා එක්සත් ජනපදය තානාපතිනි ජූලි චන්ග් සහ චීනය තනාපති යී ෂියැන්ලියැං යන රාජ්‍යතාන්ත්‍රිකයන් සමඟ මූලික සාකච්ඡා පැවැත්වීය.

    ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ පැවති සාකච්ඡාවලදී ආර්ථික ප්‍රකෘතිමත් වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබාදීමට මහ කොමසාරිස්වරයා පොරොන්දු විය.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය ලබා දීමට ද ජපාන තනාපතිනිවරයා ප්‍රතිඥා දුන්නේය. ශ්‍රී ලංකා පිලිබද සකච්චා කිරීමට තමන් ටෝකියෝ නුවර බලා හෙට පිටත් වන බවද ජපාන තානාපතිවරයා සදහන් කළේය.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උපකාර කිරීම සඳහා වෙනත් විදේශීය රටවල්වල සහාය ලබා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව තානාපතිවරුන් දෙදෙනාම සාකච්ඡා කළහ.

    එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තු කණ්ඩායමේ ඉදිරි ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අගමැති වික්‍රමසිංහ මහතා එක්සත් ජනපද තානාපතිවරිය සමඟ සාකච්ඡා කළේය.

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරිණි.

    චීන තානාපතිවරයා, අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දැක්වීමට තම රටේ කැමැත්ත ප්‍රකාශ කළ අතර, ශ්‍රී ලංකාවට ලබාදී ඇති ආධාර සමාලෝචනය කිරීමට ද ප්‍රතිඥා දුන්නේය.

    මේ අතර නැවත එක්සත් රාජධානියට පිටත්ව යාමට පෙර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හූල්ටන් මහත්මිය සමඟ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන ඔස්සේ කතා කළ අතර, ඇය ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව බ්‍රිතාන්‍ය රජය දැනුවත් කිරීමට නියමිත බව කියා සිටියාය.

    මේ අතර හිටපු අමාත්‍යවරුන් වන කාංචන විජේසේකර සහ සුසිල් ප්‍රේමජයන්ත, සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු බලශක්ති අමාත්‍යාංශයේ සහ ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වෙනම හදිසි රැස්වීමක් පැවැත්විණි.

    රට තුළ පවතින බලශක්ති අර්බුදය සහ මහජනතාව මත පැටවී ඇති බර ලිහිල් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.