කඩවත පිහිටි ප්‍රසිද්ධ නිමි ඇඳුම් අලෙවි ස්ථානයකට අලුත් අවුරුදු දින ඇතුළු වී එහි සේප්පුව බිද රුපියල් ලක්ෂ 272කට අධික මුදලක් සොරාගෙන පළායාමට සූදානම් වූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට කඩවත පොලීසිය සමත්ව ඇත.
අලුත් අවුරුදු දින අසල ගොඩනැගිල්ලකට ගොඩවී නිමි ඇඳුම් අලෙවි ස්ථානයේ ගොඩනැගිල්ලට ඇතුළු වී ඇතැයි විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.
පැය දෙකකට වැඩි කාලයක් නිමි ඇදුම් සාප්පුවේ සැරිසරමින් සේප්පුව සොයා ඇති ඔහු අවසානයේදී සේප්පුව පිහිට කාමරයේ දොරගුළු කඩා ඊට ඇතුළුවී ඇත. අනතුරුව ඔහු රැගෙන ගිය ග්‍රිල් මැෂිමකින් සේප්පුව බිඳ රුපියල් දෙසිය හැත්තෑදෙලක්ෂ දහනවදහස් තුන්සිය අසූවක් සොරාගෙන බෑගයකට දමාගෙන තිබේ.
එම මුදල් රැගෙන ඔහු පිටවීමට සූදානම් වී ඇත්තේ ඊයේ (15) උදෑසන කාලයේදීය. එම අවස්ථාවේදී අනපේක්ෂිත ලෙස සේවකයින් සේවා ස්ථානයට වෙත පැමිණ ඇත. එහිදී කළබල වූ සොරා මුදල් බෑගය එහිම සඟවා ඔහුද සැඟවී තිබේ.
සේප්පුව බිද ඇති බව සේවකයින් දැක ඒ බව වෙළද සැලේ මූල්‍ය කළමනාකරු විසින් පොලීසියට දැනුම් දී ඇත. ඒ අනුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් ආරක්ෂක කැමරා පරීක්ෂා කර තිබේ. එහිදී පෙනී ගොස් ඇත්තේ සැකකරු සේප්පුව බිද බෑගයක මුදල් රැගෙන යන ආකාරයයි. ආයතනයේ වෙනත් ස්ථානයක කැමරාවක සටහන් වී ඇත්තේ ඔහු හිස් අතින් සිටින ආකාරයකක්ය. ඒ අනුව පොලීසිය සැකකරනුයේ මුදල් තොගය ඔහු අතහැර දමා පළාගොස් ඇති බවකි. ඒ සම්බන්ධයෛන් විශේෂ අවධානයක් යොමුකරමින් පොලීසිය මුදල් බෑගය සොයා කළ මෙහෙයුමකදී ඊයේ සවස මෙම පුද්ගලයා එම ගොඩනැගිල්ලෙහි ඉහළ මහලේ පිහිටි ජල ටැංකියක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා වයස අවුරුදු 32 ක් වන නාගොල්ලාගම පදිංචිකරුවෙකි. වෘත්තියෙන් ඔහු සොරෙක් බවත් මේ අකාරයට ඔහු විසින් බැංකු බිද ඇති බවද විමර්ශන වලින් හෙළිවන බව පොලීසිය කියයි.