තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විරෝධතාකරුවන් අතරට ගිය දේශපාලකයන්ට විරෝධය

    විරෝධතාකරුවන් අතරට ගිය දේශපාලකයන්ට විරෝධය

    දිවයිනේ ප්‍රදේශ රැසක අද දිනයේ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ රැසක් පැවැත්විණි.

    ඇතැම් උද්ඝෝෂණ ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ නිවෙස් ඉදිරිපිට හා නිවෙස්වලට ඇතුළුවීමට ඇති මාර්ගවලත් දේශපාලනඥයන්ගේ කාර්යාල ඉදිරිපිටත් පවත්වන්නට යෙදුණි.

    එසේ පළමු උද්ඝෝෂණය ඊයේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාංසා පදිංචිව සිටින මීගමුවේ නිවස ඉදිරිපිට පවත්වන්නට යෙදුණු අතර, අද දිනයේ බොහෝ මැතිඇමතිවරුන්ගේ නිවෙස් අසල උද්ඝෝෂණ පවත්වන්නට යෙදුණි.

    තංගල්ල කාල්ටන් නිවස, හිටපු ඇමති චමල් රාපක්ෂ මහතාගේ නිවස ආසන්නයේ, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේත්, හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිවස ආසන්නයේත්, හිටපු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ නිවස ඉදිරිපිටදීත්, හිටපු ඇමති ගාමිණි ලොකුගේ මහතාගේ නිවස ඉදිරිපිටදීත්, හිටපු ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාගේ නිවස ඉදිරිපිටදීත්, හිටපු රාජ්‍ය අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්කොන් මහතාගේ නිවස ඉදිරිපිටදීත්, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස ඉදිරිපිටදීත් උද්ඝෝෂණ පවත්වන්නට යෙදුණි.

    ඊට අමතරව හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ ගම්පහ කාර්යාලයකට බිත්තර ප්‍රහාරයක්ද රෝහිත අබේගුණවර්ධන මහතාගේ කළුතර කාර්යාලයක් ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පවත්වන්නට යෙදුණි.

    මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල උද්ඝෝෂණ රැසක් අද දිනයේ ක්‍රියාත්මක වූ අතර ඇතැම් උද්ඝෝෂණ පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ලකර විසුරුවා හරින්නට පියවර ගෙන තිබුණි.

    තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට පැවති උද්ඝෝෂණකයන් අතරට සජබ සහ ජවිපෙ කණ්ඩායම් එක්වීමට ගොස් ඒ අය ඉවත්කර දැමීමට උද්ඝෝෂකයන් පියවර ගත් අතර කෑගල්ලේ පැවති උද්ඝෝෂකයන් අතරට යාමට ගිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියටද විරෝධතාවක් එල්ලවිය.

    එසේම බත්තරමුල්ලේ දියත උද්‍යානය අසල උද්ඝෝෂණයක නිරත වූ කලාකරුවන් පිරිසක් අතරට එක්වීමට ගිය හිටපු ජනාධිපති අපේක්ෂක ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරත්න හිමියන්ටද කලාකරුවන් සිය විරෝධය දක්වා ඉවත් කිරීමට පියවර ගත්තේය.

    ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ පිරිස් විසුරුවා හැරීමට පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

    අනතුරුව අද සවස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදීද කලාකරුවන් පිරිසක් විරෝධතාවක නිරත විය.

    මේ අතර අද දිනයේත් රටවල් කිහිපයකදීම එම රටවල ජීවත්වන සහ රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයන් විරෝධතාවල නිරත විය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img