උකසට තැබූ කැසට් යන්ත්‍රයක් බේරාගැනීමක් සම්බන්ධයෙන් ඇතිවුණු බහින්බස් වීමක් දුරදිග යාමෙන් උකස්කරු සහ ඔහුගේ නිවුන් සහෝදරයා පැටලීමෙන් සිදුවූ පිහි ඇනුමකින් උකස්කරුගේ සහෝදරයා ඝාතනයට ලක්ව තිබේ.
ග්‍රෑන්ඩ්පාස් වැල්ලම්පිටිය වෙහෙරගොඩැල්ල හංදිය ආසන්නයේදී මෙම ඝාතනය ඊයේ සිදුව ඇත.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 51ක් වයසැති වෙහෙරෙගොඩැල්ලේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයාට පිහියෙන් ඇන ඝාතනයක කළ පුද්ගලයාව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු නිට්ටඹුවේ පදිංචිකරුවෙක් වන දුම්රියේ ගීත ගායනා කිරීම සිය වෘත්තියකරගත් අයෙකි.
එම පුද්ගලයා මත්කුඩු භාවිතයටද ඇබ්බැහිවී සිටින්නෙක් බව පොලීසිය කියයි. වෙහෙරගොඩැල්ලට ඔහු පැමිණෙන්නේ මත්කුඩු මිලදී ගැනීමට බවද විමර්ශවලින් අනාවරණය වී ඇත.
කැසට් යන්ත්‍රය සැකකරු උකස්කර ඇත්තේ මත්කුඩු පානයට මුදල් නොමැතිවූ දිනකදීය. එම කැසට් යන්ත්‍රය බේරාගැනීමට මුදල්ද රැගෙන ඔහු ඊයේ පැමිණ ඇතිබව පොලීසිය කියයි.
එහිදී ඔහු කැසට් යන්ත්‍රය උකසට තැබූ පුද්ගලයා ලෙස වරදවා ඔහුගේ නිවුන් සහෝදරයාගෙන් කැසට් යන්ත්‍රය ඉල්ලා ඇති බව පොලීසිය කියයි.
එහිදී නිවුන් සහෝදරයා තමා කැසට් යන්ත්‍රයක් උකසට නොගත් බව පැවසීමත් සමඟ ඇතිවූ බහින් බස් වීමකින් අනතුරව මෙම ඝාතනය සිදුව ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.