තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"තෙල් සහනාධාරයක් නොදුන්නොත් මාළු ඇල්ලීම නවත්තනවා"

    “තෙල් සහනාධාරයක් නොදුන්නොත් මාළු ඇල්ලීම නවත්තනවා”

    තමන්ට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට කටයුතු නොකළහොත් ධීවර කර්මාන්තයෙන් ඉවත් වීමට සහ රට පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සංවිධානය කර ඇති බව සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමය සදහන් කරයි.

    අද (13) පෙරවරුවේ වෙන්නප්පුවේ පැවති මාධ්‍ය හමුවකදී බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ නිලධාරීන් මේ බව කියා සිටියේය.

    මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

    “මේ වන විට රට පුරා බහු දිනයාත්‍රා 6000 ක් පමණ තිබෙනවා.මෙම යාත්‍රා වලට මාසයකට අවම වශයෙන් ඩීසල් ලීටර් ලක්ෂ 65 ක් පමණ අවශ්‍ය වනවා.පසුගිය දිනක ඉන්ධන මිල වැඩි වීම හේතුවෙන් අපට මාසයකට අමතරව රුපියල් ලක්ෂ 3575 ක පමණ මුදලක් වැය කිරීමට සිදුවී තිබෙනවා. මෙම තත්ත්වය අපිට කෙසේවත් දරා ගැනීමට හැකියාවක් නැහැ.
    අපේ යාත්‍රා මසුන් මැරීම සිදු කරන්නේ ජාත්‍යන්තර මුහුදේ. අපේ ඉලක්කය වී තිබෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළ. පසුගිය වසරේ පමණක් අපි විදේශ විනිමය වශයෙන් ඩොලර් මිලියන 380 ක් මෙරටට ගෙනවිත් තිබෙනවා. ඩොලර් නොමැතිව දැඩි හිගයකට අපේ රට පත් වී සිටින අවස්ථාවක අපි කරන්නේ විශාල සේවාවක් බව පාලකයින් තේරුම් නොගැනීමයි ගැටළුවට කරුණ වී තිබෙන්නේ.

    මෙම තත්ත්වය අනුව අපිට තව දුරටත් කර්මාන්තය කරගෙන යාමට හැකියාවක් නොමැත තත්ත්වයක් උදා වෙලා තියනවා. ඒ නිසා අපි තීරණය කර තිබෙන්නේ සාධාරණ සහනාධාරයක් අපිට ලබා නොදුන්නහොත් සම්පූර්ණයෙන්ම කර්මාන්තයෙන් ඉවත් වන්නයි.”

    මෙහිදී අදහස් දැක්වූ බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා මෙසේ පැවසීය.

    “බහු දින යාත්‍රා කර්මාන්තය වටා විශාල පිරිසකට වක්‍ර රැකියා ලැබී තිබෙනවා. යම් ආකාරයකට බහු දින යාත්‍රා කර්මාන්තය කඩා වැටුනහොත් ලක්ෂ 02 කට වැඩි පිරිසකට ජීවත් වෙන්න ක්‍රමයක් නොමැති වනවා. ඒ නිසා රජය කටයුතු කළ යුතු වන්නේ කඩිනමින් මෙම කර්මාන්තය රැක ගැනීමට කටයුතු කිරීමයි. ඉන්ධන මිල ඉහළ යාමග සමග සැපයුම් සියල්ලේම මිල ඉහල යාම වැළැක්වීමට නොහැකියි.
    අපේ බහු දින යාත්‍රා හිමිකරුවන් බොහෝ දෙනෙක් කාලයක් විදෙස් රටවල් වල සේවය කරලා හරි හම්බ කරගත්තු සල්ලිවලින් තමයි යාත්‍රා මිලදී ගෙන තිබෙන්නේ. අපිට අද වෙලා තියෙන්නේ කරගත්තු මෝඩ කමක් කියලා හිතන්න විතරයි.

    ඉන්ධන මිල ඉහළ යාමත් සමග අනිත් සෑම කර්මාන්තයම නිෂ්පාදන වල මිළ ඉහළ දැමීමට හැකියාව තිබෙනවා. නමුත් අපිට එහෙම කරන්න බෑ.ඊට හේතුව වී තිබෙන්නේ අපි ගණුදෙණු කරන්නේ ජාත්‍යන්තර සමග වීමයි.

    කෙසේ වෙතත් බහු දින යාත්‍රා කර්මාන්තය රැක දෙන්න රජය කටයුතු නොකරන්නේ නම් අකමැත්තෙන් වුවත් අපිට සිද්ධ වෙනවා කර්මාන්තයෙන් ඉවත් වන්න.”

    බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ තවත් සාමාජිකයින් කීප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වීය.

    ජුඩ් සමන්ත

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img