fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති නොදැන ලිට්රෝ සභාපති අයින් කරන්න ගිහිං සිද්ධ වුණ දේ

    ජනපති නොදැන ලිට්රෝ සභාපති අයින් කරන්න ගිහිං සිද්ධ වුණ දේ

    ලිට්රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කළ බවට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා ලිපියක් නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයා දැනුවත් නොකර බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

    කෙරවලපිටිය පිහිටි ලිට්රෝ ගෑස් පර්යන්තය නිරීක්ෂණය කරමින් සිටින අතරතුර ජනාධිපතිවරයා ලිට්රෝ ගෑස් සභාපති ඉවත්කර ඇති බව දැනගෙන ඇති අතර එහි දී මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා ගෙන්වා අදාළ ඉවත් කිරීම බල රහිත කරන ලෙස දන්වා තිබේ.

    තෙෂාර ජයසිංහ අදාළ තනතුරෙන් ඉවත් කරමින් එම තනතුරට නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා පත්කිරීමට යන බවට මාධ්‍ය වාර්තා කර තිබිය දී මෙම සිදුවීම වී තිබේ.

    ඔමාන් සමාගමකින් වැඩි මිලට ගෑස් ලබා ගැනීම සම්බන්ධව රජයේ ඉහළ පෙළේ නිලධාරියෙකු ඇතුළු පිරිසක් ලිට්රෝ ගෑස් සභාපතිවරයාට බලපෑම් කරමින් තිබු බවටද සමාජ මාධ්‍ය වාර්තා පළ වී තිබිණි.

    මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කළ බව කියන තෙෂාර ජයසිංහ මහතාගේ ඉවත් කිරීමට අදාළ ලිපිය ඒ වනතෙක් ඔහු අතට පත්වී නොතිබිණි. අදාළ ලිපිය පළමුව ශ්‍රී ලංකා රක්ෂණ සමාගමකට පමණක් යොමු වී තිබු බව ද තතු දත් ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබිණි.

    කෙසේ වෙතත් අද දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටියේ පිහිටි ලිට්රෝ ගෑස් පර්යන්තය නිරීක්ෂණයට ලක් කළ බව පමණක් ජනාධිපති මාධ්‍ය අංශය නිල වශයෙන් නිවේදනය කර තිබිණි.

    අදාළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

    පර්යන්තයේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට පැමිණි ජනාධිපතිතුමා නෞකාවේ සිට ගොඩබිමට ගෑස් රැගෙන ඒම සහ ගබඩා කිරීම දක්වා ක්‍රියාවලිය විමසා බැලීය.

    ටොන් 2,000 බැගින් වූ ගබඩා ටැංකි හතරක් පර්යන්තය සතු වන අතර ගෑස් ටොන් 8,000ක සංචිතයක් දෛනිකව පවත්වාගෙන යනු ලැබේ. ලිට්රෝ සමාගමේ මාසික ගෑස් සැපයුම ටොන් 30,000කි. ඒ සඳහා මාසිකව නෞකා 07කින් ගෑස් රැගෙන එයි.

    බවුසර් රථ මගින් කර්මාන්තශාලා වෙත ගෑස් බෙදාහැරීමත් සිලින්ඩර් සඳහා ගෑස් පිරවීමත් කෙරවලපිටිය පර්යන්තයේ දී සිදු කෙරේ. අලෙවි නියෝජිත ආයතන 42ක් සහ වෙළෙඳ ආයතන 12,000ක් මගින් රට පුරා ලිට්රෝ ගෑස් බෙදාහැරීම සිදු කරන බව සමාගම පවසයි. පසුගිය දින කිහිපය තුළ දෛනිකව ගෑස් සිලින්ඩර 70,000 – 80,000ත් අතර ප්‍රමාණයක් රට පුරා බෙදාහැර තිබේ. ඉදිරි දින කිහිපය තුළ දැනට පවතින ලිට්රෝ ගෑස් ඉල්ලුම සැපිරීමට හැකි වෙතැයි සමාගම අපේක්ෂා කරයි.

    ලිට්රෝ ගෑස් සමාගමට අයත් හම්බන්තොට පර්යන්තයේ මෙහෙයුම් සහ ගෑස් පර්යේෂණය සඳහා ආයතනයක් පිහිටුවීම මේ වසර තුළ සිදු කරන බව එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේය.

    ගෑස් ගබඩා ටැංකි පරිශ්‍රය සහ පිරවුම් අංගණය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ආයතනයේ සේවක පිරිස සමග සාකච්ඡා කරමින් තොරතුරු විමසා බැලීය.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.