තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද සිට ගෑස් නිකුත්වෙන්නෙ ගඳ සුවඳ බලලයි

    අද සිට ගෑස් නිකුත්වෙන්නෙ ගඳ සුවඳ බලලයි

    ගෑස් සිලින්ඩරයේ ගඳ සුවඳ පරික්ෂා කිරීමෙන් පසුව අද (01) පටන් වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

    එසේම ගෑස් සිලින්ඩර මෙරටට රැගෙන ඒමට පෙර නැව්වලදීම ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද එම සාකච්ජාවේදී එකඟත්වයට පැමිණ තිබේ.

    වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මෙලෙස රැස්වූයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුවය.

    ඒ අනුව එම උපදේශක කාරක සභාවේ සභාපති අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (1) පෙරවරුවේ මෙම හමුව පැවැත්විණි.

    එහි අරමුණවූයේ හදිසියේ සිදුවන ගෑස් ටැංකි පුපුරායෑම පිළිබඳ පාර්ශව කිහිපයක අදහස් ගැනීම සහ ඊට විසදුම් විමසීමය.

    පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද මෙම සාකච්ඡාවට සහභාගී විය.

    පාර්ලිමේන්තුවේදී විපක්ෂය ඉදිරිපත් කළ ප්‍රශ්න කිහිපයක් පිළිබඳවද අදාළ පාර්ශව සම්බන්ධ කරගෙන මෙහිදී දීර්ඝව සාකච්ඡා වී ඇත.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රශ්න කිහිපයක් මතු කරමින් ඒවාට හැකි ඉක්මනින් ලිඛිතව හෝ පිළිතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය.

    මෙම සාකච්ඡාවට පැමිණ සිටි සියලු පාර්ශව වලින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෑස් ටැංකි පිපිරීම් සම්බන්ධයෙන් මෙහිදී අදහස් ලබා ගැනිණ.

    මෙම සාකච්ඡාවට වෙළෙඳ අමාත්‍යාංශය, සමූපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය, නිපුනතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නිමයුම් රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, මිණුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව, ලිට්රෝ ගෑස් සමාගම, ලාෆ්ස් ගෑස් සමාගම, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන ආයතනය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, බලශක්ති අමාත්‍යාංශය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන වල නිලධාරීහුද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හිටපු මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක සහ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොලගේ සහ ඛනිජ තෙල් පිළිබඳ විශේෂඥ නිමල්ද සිල්වා යන මහත්වරුද සහභාගි වූහ.

    මීට අමතරව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිළ, නිමල් සිරිපාලද සිල්වා, මහින්දානන්ද අලුත්ගමගේ යන ඇමැතිවරුන්ද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙයට සහභාගි වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img