fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එකම රටක් වෙනුවෙන් දෙමළ - මුස්ලිම් පක්ෂ එක්වෙයි

    එකම රටක් වෙනුවෙන් දෙමළ – මුස්ලිම් පක්ෂ එක්වෙයි

    එකම රටක්, එකම නීතියක් යන මූලධර්මය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය, ජනතාව අතර අසමගිය හා බෙදීම ඇති කරන දැවැන්ත අවදානමක් සහිත බැවින් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව, දෙමළ සහ මුස්ලිම් පක්ෂ ගණනාවක් සිය සාමුහික ස්ථාවරය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

    එකම රටක් තුළ නොබෙදුණු ජනතාවක් ලෙස ජීවත්වීම සඳහා දමිළ සහ මුස්ලිම් පක්ෂ එක්ව පසුගියදා සාමූහික ස්ථාවරයකට එළැඹී තිබුණේ දමිළ, මුස්ලිම් පක්ෂ 7ක සහභාගිත්වයෙන් යාපනයේදී පැවැත්විණු රැස්වීමක දී ය. ටෙලෝ සංවිධානය විසින් එම සාකච්ඡාව සංවිධානය කර තිබිණි.

    මෙම සාකච්ඡාවේදී ටෙලෝ (TELO) සංවිධානයේ නායක පා.ම. සෙල්වම් අඩෛකලනාදන්, දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) නායක පා.ම. මනෝ ගනේෂන්, ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) නායක පා.ම. රවුෆ් හකීම්, ප්ලොට් (PLOTE) සංවිධානයේ නායක පා.ම. සිත්තාර්තන්, ඊ.පී.ආර්.එල්.එෆ්. (EPRLF) සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, පා.ම. සී.වි. විග්නේෂ්වරන්ගේ පක්ෂයේ (TMK) නියෝජිත කථිකාචාර්ය සිවනාදන් යන අය සහභාගී විය.

    මෙම රැස්වීමට සහභාගි නොවූ සෙසු පක්ෂ ද ඇතුළත්ව මෙම සාකච්ඡාව තවත් සතියකින් යළි පැවැත්වීමටත් එහිදී ඒකමතිකව තීරණය කර ඇත.

    එමෙන්ම දමිළ කතා කරන ජනතාවගේ දිගුකාලීන ඉල්ලීමක් වන දේශපාලන විසඳුම ඔවුන්ගේ දේශපාලන අභිලාෂයන් තෘප්තිමත් වන ආකාරයෙන් විය යුතුයැයි ද යෝජනා වී ඇත.

    දෙමළ ජනතාව දිගින් දිගටම මුහුණ දෙන විවිධ ගැටලු සැලකිල්ලට ගෙන පහත දැක්වෙන යෝජනා, වහා සම්මත කළ යුතු බවට ඔවුහු ඉල්ලා සිටී.

    මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම, හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි.

    රජය සහ රජයේ අනුග්‍රහය ඇතිව උතුරු නැඟෙනහිර පළාත්වල සිදුකෙරෙන සැලසුම් සහගත ඉඩම් කොල්ලකෑම් සියල්ල වහාම නැවැත්විය යුතු බවත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඉවත් කර ඒ යටතේ රඳවාගෙන සිටින සියලු දෙනා නිදහස් කළ යුතු බවටත් ඔවුන් ඉල්ලා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.