තවත්

    අද ශෝක දිනයක්

    අපවත් වී වදාළ අතිපූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරු 1.30ට සිදු කිරීමට නියමිත අතර අද දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

    මහා විහාර වංශික ශාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සහ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි පසුගිය 28 වනදා අපවත් වූ අතර ඒ වන විට උන්වහන්සේ 84 හැවිරිදි වියෙහි පසුවූහ.

    ත්‍රිපිටකය වාර්ගීෂ්වරාචාර්ය, සාහිත්‍ය විශාරද, දර්ශන විශාරද, ආචාර්ය, අග්‍ග මහා සද්ධම්මජෝතිකධජ, මහෝපාද්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් අපවත් වන විට පෑලියගොඩ විද්‍යාලංකාර මහ පරිවේණාධිපති සහ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කරනු ලැබීය.

    පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙණේ තැන්පත් කර ඇති කුසලධම්ම නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර දහවල් 12.30ට පමණ පිරිවෙණෙන් පිටත්වීමට නියමිතව ඇත.

    ඒ අනුව, ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර නුවර පාර, කැළණි පාලම, බේස්ලයින් පාර, බණ්ඩාරනායක මංසන්ධිය, ඔරුගොඩවත්ත මංසන්ධිය, ඉංග්‍රම් මංසන්ධිය, දෙමටගොඩ මංසන්ධිය, බන්ධනාගාර මංසන්ධිය, බොරැල්ල මංසන්ධිය, ඩී.එස් සේනානායක මංසන්ධිය, හෝර්ටන් විජේරාම මංසන්ධිය, හෝර්ටන් වටරවුම, නන්දා මෝටර්ස් මංසන්ධිය, නිදහස් වටරවුම සහ නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරස්‍රය දක්වා පැමිණීමට නියමිතය.

    ආදාහන පූජෝත්සව රථ පෙරහැර ගමන් කරන අවස්ථාවේ මාර්ග අවරහිරතා පැවතිය හැකි බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මස් මාංශ අලෙවිසැල් සහ සුරාසැල් ද වසා තැබිය යුතු වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img