අනාගතයේ මේ රටට මුහුණ දීමට ඇති අභියෝගවලට තනිව නොව, සාමුහික ශක්තිය යොදවා ශ්‍රී ලංකාව වෙනුවෙන් එඩිතරව මුහුණ දිමට ඇප කැප වෙමු යන්න, අමෙරිකාවේ නිව්යෝර්ක් හිදී සාකච්ඡා පැවැත්වූ සියලුම විදේශ ඇමතිවරු, අගමැතිවරුන් විසින් එකඟ වී ලබා දුන් පණිවිඩය බව විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා පැවසීය.
ශ්‍රි ලංකා රජයේ ස්ථාවරය සියලු දෙනාටම ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කළ බවත්, වෙනත් රටවල ඇති උග්‍ර ප්‍රශ්න සියල්ල තිබිය දී අප රට සම්බන්ධයෙන් යොමු කරන මේ අවධාරණය තුලනාත්මක ද යන්නත් කිසිඳු යුක්ති සහගත පදනමක් තියෙනවා ද යන්න ගැටලුවක් තිබෙන බවත් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කර සිටී.
බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මුලස්ථානයේ දී අද (27) පැවැත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.
පසුගිය සති දෙක තුළ දී නිව්යෝක් , ජිනිවා හා ඉතාලියේ බොලොඤ්ඤා කියන නගරවල ශ්‍රි ලංකාවට විශේෂයෙන් වැදගත්වන සාකච්ඡා කිහිපයක් පැවැත්විණි.
ඒ අනුව, එක්සත් ජාතින්ගේ මහ සම්මේලන 76 සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කිරීමත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ පැවැත්වුණු ජාත්‍යන්තර ආගමික සමුළුවක ආරම්භක සැසිවාරයේ ප්‍රධාන දේශනය ද සිදු කිරීමත්, ජිනීවා නගරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේ දී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මැතිණිය ශ්‍රි ලංකාව පිළිබඳ කරන ලද ප්‍රකාශයකට විදෙස් කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසින් දුරස්ථව මාර්ග ගතව පිළිතුරු ලබා දීමත් සිදු විය.
එමෙන්ම, නිව්යෝක් නගරයේ එක්සත් ජාතින්ගේ මහා සම්මමේලනය පවත්වන අතරතුර මෙරට විදේශ අමාත්‍යවරයා විසින් මහා බ්‍රිතාන්‍ය නියෝජනය කළ ආමන්ඩ් සාමිවරයා සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වීමත්, පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන ලේකම්වරිය සමඟ පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමත් සිදු විය.
ඒ අනුව, මෙම සියලු සාකච්ඡාවල දී ජිනිවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳව කැපී පෙනෙන තේමාවක් ව ඇති බව මෙහි දී ප්‍රකාශ කළ අමාත්‍යවරයා; ඒ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජයේ ස්ථාවරය මේ සියලු දෙනාටම අපි ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කළ බවත්, කොවිඩ් 19 වසංගතය නිසා උද්ගත වූ සියලුම අභියෝග මධ්‍යයේ අපේ රටේ සංවර්ධනය හා සංහිඳියාව සම්න්ධයෙන් විවිධ ක්ෂේත්‍රවල ලබාගත් ප්‍රගතිය පිළීබඳ සවිස්ථර කරුණු මානව හිමිකම් කවුන්සිලයට අඛණ්ඩව ඉදිරිපත් කළ බවත් කියා සිටි ඒ මහතා මෙසේ ද කියා සිටියේය.
“ඒ සම්බන්ධයෙන් අපේ රජය පැහැදිලි කැපවීමක් තිබෙනවා. අපි මේ සියල්ල කරන්නේ එක කොන්දේසියකට යටත්වයි. අපේ රටේ ගැටලු විසඳිම සම්න්ධයෙන් වගකීම පැවරෙන්නේ අපේ රටේ දේශීය ආයතනවලටයි. ශ්‍රි ලංකාවේ ජනතාවගේ අපේක්ෂාවන් අපේ රටේ සංස්කෘතියට අනුකූලව තමයි මේ ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම් සෙවීමට අපි ඉදිරිපත්වෙලා තියෙන්නේ. ඒ කාර්ය භාර්ය විදේශීය ආයතනවලට පැවරීමට අපි එකඟවන්නේ නෑ.”
අපිට ලොකු තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරුණක් තිබෙනවා ජිනිවා මනාව හිමිකම් කවුන්සිලයේ මහා කොමසාරිස්තුමිය ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් මේ ප්‍රකාශය කලාට පසුව විවාදයක් තිබුණා. ඒ විවාදයේදී රටවල් කිහිපයක් ඒ අයගේ අදහස් ඉදිරිපත් කරමින් ශ්‍රි ලංකාවට වැදගත්වන ප්‍රකාශයක් බොහෝම ප්‍රත්‍යක්ෂ ලෙස ප්‍රකාශ කළා. එය යම්කිසි මූලධර්මයක් වෙනුවෙන් පෙනි සිටියා.
ඒ මූලධර්මය තමයි එක්සත් ජාතීන්ගේ ආයතනයේ අඩිතලම වන දේශීය යන්ත්‍රණවලට ක්‍රියාකිරීමට අවශ්‍ය සියලුම අවකාශ සම්පූර්ණ වශයෙන් ලබාදෙන්න ඕන කියලා. එසේම මේ මතය ප්‍රකාශ කළේ, රටවල් පමණක් නොව රටවල් නියෝජනය කරන සංවිධාන සාමූහිකව ඒ ස්ථාවරය ඉදිරිපත් කළා”.