fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කුඩු බොන්න සල්ලි සොයා රාජගිරියේ කාන්තාව මැරූ හැටි ඝාතකයා වමාරයි

    කුඩු බොන්න සල්ලි සොයා රාජගිරියේ කාන්තාව මැරූ හැටි ඝාතකයා වමාරයි

    රාජගිරියේ නිවසක ජීවත්වූ 71 හැවරදි කාන්තාවක් ගෙල මිරිකා ඝාතනය කර මුදල් කොල්ලකෑමකට අත්අඩංගුවට ගත් සැකකරු මෙයට පෙරත් අතුරුගිරියේදී 51 වියැති කාන්තාවක් ඝාතනයකර දේපොල කොල්ලකෑමකට පොලීසියට හසුවී බන්ධනාගාරගතව සිට ඇප ලබා නිදහස්වූ ඇයෙක් බව හෙළිවී තිබේ.

    මෙම ඝාතනය සිදුව ඇත්තේ ඊයේ අලුයම් කාලයේදීය. නිවසේ තනිවම ජීවත්වූ එම කාන්තාව ඝාතනය කර තිබුණු අතර අසල්වාසීන් විසින් පොලීසියට ලබාදුන් තොරතුරකට අනුව පොලීසිය එහි පැමිණ විමර්ශනයක් ආරම්භකර තිබුණි. පෙර දිනයේ ඇගේ ඥාතියෙක් විසින් ඇයට ලබාදී තිබුණු රුපියල් 25,000 ක මුදලක් අතුරුදන්වීම හේතුවෙන් පොලීසිය සැකකරනුයේ එම ඝාතනය මුදල් කොල්ලකෑමේ අරමුණින් සිදුව ඇති බවය. ඝාතකයා නිවසට ඇතුළු වී තිබුණේද වහලේ උළු ඉවත්කරමින් බව පොලිස් විමර්ශන වලින් අනාවරණය විය.

    ඒ අනුව එම ඝාතනය සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය සමග ඒකාබද්ධ විමර්ශනයක් ආරම්භකරන බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශයත් නුගේගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයත් ඝාතනය වූ කාන්තාව පදිංචිව සිටි නිවස අවට ඇති ආරක්ෂක කැමරා පරීක්ෂාක තිබුණි. එහිදී කැමරාවක සටහන්ව තිබුණු සැකකටයුතු පුද්ගලයෙක් පසු පස හඹා යමින් ඔහුව අද පෙපරවරුවේ පොලිස් භාරයට ගෙන කෙරුණු දීර්ඝ ප්‍රශ්න කිරීමකදී සියල්ල හෙළිවී තිබෙන බව සදහන්ය.

    වාද්දූව පොතුපිටියේ පදිංචිකරුවෙක් වන සැකකරු පොල් ගස් නගින්නෙකි. මත්කුඩු භාවිතයට ඔහු තදින්ම ඇබ්බැහි වී සිටින්නෙක් බවද පොලීසිය කියයි. මෙම සැකකරු රාජගිරිය පැත්තේද පොල් කැඩීමට යන එන අයෙක් බවත් එහිදී මෙම කාන්තාව පමණක් ජීවත්වන නිවස ගැන අවධානයෙන් ඔහු සිට ඇති බවත් විමර්ශනවලින් හෙළිවී තිබේ. වසරකට පමණ පෙරත් මෙම සැකකරු නිවසේ වහලෙන් ඇතුළු වී රුපියල් 35,000 ක මුදලක් සොරාගෙන ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක්ද කර තිබී ඇති බවත් සදහන්ය.

    මේ දිනවල දැඩි මත්කුඩු හිඟයක් ඇති බැවින් මත්කුඩු පැකට්ටුවක මිල ඉහළගොස් තිබේ. මේ නිසා මෙම සැකකරුට මත්කුඩු භාවිතයට මුදල් විශාල ලෙස වැය වන බැවින් මුදල් සොරකම් කිරීමේ අදහසින් නැවතත් මෙම නිවසට ඇතුළු වී ඇති බවත් නිවෙස් හිමි කාන්තාව ඇහැරීම නිසා ඇගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබේ.

    සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ඔහු විසින් කළ තවත් සොරකම් රැසක තොරතුරු හෙළිවෙමින් ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.