fbpx
තවත්
    මුල් පිටුවspecialපුපුරණ ද්‍රව්‍ය හොයන අලුත්ම පෙරළිය, ඉවකරන යන්ත්‍ර ද?

    පුපුරණ ද්‍රව්‍ය හොයන අලුත්ම පෙරළිය, ඉවකරන යන්ත්‍ර ද?

    වර්තමාන ලෝකයේ ආරක්ෂාව ගත්කල, බෝම්බ වැනි පුපුරණ ද්‍රව්‍ය මගින් සිදු කරනු ලබන ජීවිත හා දේපල හානිය අතිමහත්ය. තම රටවැසියන්ට වඩාත් ආරක්ෂිත පරිසරයක් ඇතිකරනු වස්, විවිධ රාජ්‍යයන් මගින් විවිධ වූ ආකාරයේ සූක්ෂම ආරක්ෂක ක්‍රමෝපායන් ක්‍රියාත්මක කරනු ලබයි. ඇතැම් රටවල ගුවන් තොටුපළවල් වැනි ප්‍රධානතම ආයතන ආරක්ෂා කිරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය සෙවීම සඳහාම පුහුණු කරනලද බල්ලන් පවා යොදාගනු ලබන්නේ තම ඉව මගින් පුපුරණ ද්‍රව්‍ය පහසුවෙන් හඳුනාගැනීමට මෙම සත්වයන් කෙරෙහි ඇති සුවිශේෂී හැකියාව නිසාය.

    මෙම සංකල්පයම යොදා ගනිමින්, පුපුරණ ද්‍රව්‍ය සෙවීම සඳහා නිර්මාණය කරන ලද නවතම යන්ත්‍රයක් පිළිබඳ පුවතක් පසුගියදා විදෙස් මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණි. අපගේ නාසය ක්‍රියා කරන ආකාරයටම, අවට වාතයේ ඇති ගන්ධයන් හඳුනා ගත හැකි, ජානමය වශයෙන් වැඩිදියුණු කරන ලද ජීවී සෛල සමග නවීන තාක්ෂණික සංවේදක සංයෝජනය කරමින් මෙම විශ්ව කර්ම නිර්මාණය බිහිකළ බව එය නිෂ්පාදනය කළ Silicon Valleyහි පිහිටි කොනිකු (Koniku) සමාගමේ නිර්මාතෘ ඔෂිරෙනෝයා අගාබි විසින් විදේශීය ජනමාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.

    Konikore ලෙස හඳුන්වන මෙම යන්ත්‍රයෙහි ජීව සෛල සමග ඇති සිලිකන් චිපයක් (Silicon Chip) මගින් අවට වාතයේ ඇති විවිධාකාර ගන්ධයන් ලබාගෙන, ඒ පිළිබඳ දත්තයන්, යාන්ත්‍රික අධ්‍යයන පද්ධතියකට (Machine Learning System) ලබාදෙන අතර, එහිදී එම ගන්ධයන්ගේ තීව්‍රතාවය වැඩි දියුණු කිරීම, වර්ගීකරණය සහ අවශ්‍ය නිවැරදි කිරීම් (Error Correction) සිදු කරනු ලබයි. පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිසියම් ඉඟියක් ලැබුනහොත්, බල්බයක් දැල්වීම මගින් මෙම පද්ධතිය සැනෙකින් අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් කරයි.

    මූලික අදියරෙහි පර්යේෂණ සාර්ථකව සිදු කළ මෙම යන්ත්‍රය, Airbus සමාගම හා එක්ව සිංගප්පූරුවේ Changi ගුවන් තොටුපල හා සැන් ෆ්‍රැන්සිස්කෝ ගුවන් තොටුපළෙහි ක්ෂේත්‍ර අධ්‍යනයන් සිදු කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකාවේ Airbus සමාගමේ නිෂ්පාදන ආරක්ෂන අංශයේ ප්‍රධානී, ජූලියන් ටූzසෝ විසින් මාධ්‍ය වෙත පවසා ඇත්තේ සාමාන්‍යයෙන් පුපුරණ ද්‍රව්‍ය සෙවීම සඳහා බල්ලන් යොදාගැනීමේදී බල්ලෙකු රාජකාරියේ යෙදවිය හැක්කේ උපරිම වශයෙන් විනාඩි විස්සක පමණ කාලයක් බවත් එම බල්ලෙකුගේ මිළ, සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් 200,000 පමණ වන බවයි. නමුත් සාමාන්‍ය Smartphone දූරකතනයක වර්ග ප්‍රමාණයෙන් භාගයක් පමණ වන, ඇමරිකානු ඩොලර් 3,000කට පමණ මිළකළ, මෙම උපකරණය ගුවන් තොටුපළෙහි, ගුවන් යානා තුළ වැනි ඕනෑම ස්ථානයක පහසුවෙන් ස්ථාපනය කළ හැකි බවත් ඔහු විසින් වැඩිදුරටත් පවසා ඇත.

    මේ වනවිට ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන Covid19 වෛරසය හඳුනාගැනීමේ කටයුතු සඳහා වායු ගෝලයේ ඇති වෛරස හඳුනාගත හැකි ආකාරයට තම නිර්මාණය වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බවද එහි නිර්මාතෘ වන අගාබි විසින් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

     

     

    (මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

    මෙම ලියුම්කරු විද්‍යාවේදී, ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මංජුල ද සිල්වා

    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    මංජුල ද සිල්වා
    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    ඔබේ අදහස් දක්වන්න.