fbpx
තවත්
    මුල් පිටුවspecialමත්ස්‍ය සම්පතත් සුරකිමින් ධීවරයනුත් රකින තාක්ෂණය

    මත්ස්‍ය සම්පතත් සුරකිමින් ධීවරයනුත් රකින තාක්ෂණය

    ගොඩබිම මෙන්ම සුවිශේෂී ජෛව පද්ධතියක් සමුද්‍රය ආශ්‍රිතවද පවතී. සම්පූර්ණයෙන්ම මුහුදෙන් වටවූ ගොඩබිමක් වන ශ්‍රී ලංකාවේ ජීවත්වන අපද, බහුල වශයෙන් මුහූදින් ලබාගන්නා ආහාර, අපගේ දෛනික ආහාර වේලට එකතු කර ගැනීමට ප්‍රිය කරන බව නොරහසකි. නමුත් කාලාන්තරයක් තිස්සේ ලොව පුරා මුහුදු ආහාර සීමාවකින් තොරව හා අපරීක්ෂාකාරී ලෙස නෙළාගැනීම නිසා මෙම මත්ස්‍ය සම්පත සීඝ්‍රලෙස ක්ෂයවී යාමේ ගැටලුවක් පැන නැගී ඇති බව විද්‍යාඥයින් විසින් දිගින් දිගටම ප්‍රකාශ කර සිටින්නේ, ඒ වෙනුවෙන් බලධාරීන්ගේ අවධානය යොමු කරවීම සඳහාය. මේ නිසා ඇතැම් දැල් ආම්පන්න සහ මසුන් ඇල්ලීමේ ක්‍රමවේදයන් තහනම් කිරීම පවා සිදුකර ඇත.

    ලොව පුරා භාවිතා කරන ට්‍රෝලර් යාත්‍රා මගින් මත්ස්‍ය අස්වනු නෙළීමේ වේගය (නැවත පැටවුන් බිහිවී මත්ස්‍යයන් වර්ධනය වන වේගයට සාපේක්ෂව) වැඩිවීම, නියමිත ප්‍රමාණයට වඩා අඩු කුඩා මසුන්ද, ඩොල්ෆින් සහ කැස්බෑවුන් වැනි මුහුදු ජීවීන්ද මෙම දැල් වලට හසුවීම වැනි හේතු සාධක නිසා දැල් භාවිතා කරමින් සිදුකරනු ලබන වාණිජමය ධීවර කර්මාන්තය දැඩි දෝෂදර්ශනයට ලක් වී තිබේ. 2017 වසරේ ලෝකයේ මත්ස්‍ය නිෂ්පාදනයෙන් තුනෙන් එකක් පමණ, අතිරික්ත  නිෂ්පාදනයක් (Overfishing) බව පැවසේ.

    මේ නිසා තම මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත ආරක්ෂා කරගනිමින් ධීවර කර්මාන්තයේ යෙදීම සඳහා නවීන තාක්ෂණය උපයෝගී කරගත යුතු බවට යූරෝපීය සංගමය (EU) මගින් තීරණය කර ඇති බව පැවසේ. මේ යටතේ, ධීවරයන්, ධීවර ආම්පන්න නිෂ්පාදනය කරන සමාගම්, විශ්ව විද්‍යාල ඇතුළු පාර්ශවයන් කිහිපයක් සහ SINTEF Ocean නම් නෝර්වීජියානු තාක්ෂණික සමාගමක් ද සමග එක්ව SmartFish H2020 නම් ව්‍යාපෘතියක් ඔවුන් විසින් දියත්කර ඇත.

    මෙහිදී අත්හදා බැලෙන එක් සුවිශේෂී නිර්මාණයක් වනුයේ දැලට අවශ්‍ය මත්ස්‍ය වර්ග පමණක් ආකර්ෂණය කර ගනිමින්, අනිකුත් ජීවීන් පළවාහැරීමට සමත් ශබ්දයන් හා විවිධ වූ වර්ණයන්ගෙන් සහ තීව්‍රතාවයන්ගෙන් යුතු LED ආලෝක ධාරාවන් නිකුත්කරනා SmartGear නම් සුහුරු මාලු දැලයි. මේ සම්බන්ධයෙන් විදෙස් පුවත් සේවා වලට අදහස් දැක්වූ SINTEF Ocean ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ, රේශල් ටිලර් විසින් පවසා ඇත්තේ මත්ස්‍ය සම්පත ආරක්ෂා කරගනිමින් ධීවර කර්මාන්තයේ නිරත වීම සඳහා ධීවර ප්‍රජාවට උපකාර කිරීම තම මූලික අභිලාෂය බවයි. මේ සඳහා මුහුදේ සිටින මත්ස්‍ය සම්පත ගැන තමන්ට නිවැරැදි දත්ත ලබාගැනීමට අවශ්‍ය බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත. මේ සඳහා SINTEF ආයතනය විසින් ලේසර් කිරණ භාවිතා කරමින් දැලෙන් යාත්‍රා මතට ගන්නා මසුන් වර්ග සහ ප්‍රමාණයන් මැන ගැනීමට හැකි CatchScanner නම් උපකරණයක්ද නිර්මාණය කර ඇත. මෙම උපකරණය මගින් මත්ස්‍යයන්ගේ ත්‍රිමාණ ප්‍රතිබිම්බයක් ජනනය කරන අතර දිග, කෘතීම බුද්ධිය (AI) ඇසුරෙන් ඇස්තමේන්තු කළ මත්ස්‍ය වර්ගය සහ බරද සටහන් කර ගන්නා බව පැවසේ.

    ඇතැම් මත්ස්‍ය වර්ග ඇල්ලීමේදී ඇතැම් රටවල සීමාවන් පනවා ඇති බැවින්, නියමිත ප්‍රමාණයට වඩා අඩු මත්ස්‍යයින් ඇල්ලීම, තමන්ට නියමිත කෝටාව (Quota) ඉක්මවා මසුන් ඇල්ලීම වැනි අවස්ථා වලදී මෙම පද්ධතිය මගින් එසැනින් සෘජුවම අදාල බලධාරීන්හට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමද කළහැකි බැවින් මෙය ඉතා වැදගත් ක්‍රියාවලියක් සිදු කරනා බව පැවසේ.

    “වවාගෙන කෑයුතු දේ ඉහගෙන නොකෑ යුතුය” යන පැරණි කියමන පිළිපදිමින්, මත්ස්‍ය සම්පත ආරක්ෂා කරගනිමින් ධීවර කර්මාන්තයේ යෙදීම සඳහා මෙවැනි තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතය මගින් අනාගත පරපුරටද මෙම සම්පත් දායාද කළ හැකි වීම කෙතරම් අගනේ ද?

     

     

    (මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මංජුල ද සිල්වා

    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    මංජුල ද සිල්වා
    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    ඔබේ අදහස් දක්වන්න.