fbpx
තවත්
    මුල් පිටුවspecialනිවාස ප්‍රශ්නයට කඩිනම් විසඳුම 3D Printing ද? මෙක්සිකෝවේ නම් එහෙමයි...

    නිවාස ප්‍රශ්නයට කඩිනම් විසඳුම 3D Printing ද? මෙක්සිකෝවේ නම් එහෙමයි…

    මිනිසාගේ මූලික අවශ්‍යතා වනුයේ ආහාර, ඇඳුම් සහ වාසස්ථානයි. මානව සංහතිය ආරම්භ වූ අනාදිමත් කාලයක පටන් මෙම අවශ්‍යතාවයන් සපුරාගනුවස් අනේකවිධ දුක් ගැහැට විඳීමට මිනිසාට සිදුවිය. කරුණු එසේ වුවද හරිහමං වාසස්ථානයක් නොමැති කෙතරම් නම් පිරිසක් අද වනවිට සිටීද? දැනට පවතින තත්වය අනුව වසර 2050 වනවිට ලෝක ජනගහනයෙන් බිලියන 3කට පමණ වාසස්ථානයක් නොමැති වනු ඇති බවට අනාවැකි පැවසේ. තවමත් දියුණු වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවේද නිවාස ප්‍රශ්නය ඉතා දැඩි ලෙස පවතින බව නොරහසකි. කලින් කලට පත්වන පාලකයන් විසින් මේ සඳහා විසඳුම් සෙවීම තම මූලික කර්තව්‍යයක් සේ සලකා කටයුතු කරනුයේද තම ජනතාවගේ හිසට සෙවණක් ලබාදීම තම මූලික වගකීමක් බව දන්නා හෙයිනි.

    මෙම නිවාස ප්‍රශ්නය විසඳීමට, New Story නම් විදේශීය පුණ්‍යායතනයක් විසින් මෙක්සිකෝවේ අරඹන ලද අපූරු ව්‍යාපෘතියක් පිළිබඳව පසුගියදා වාර්තා විය. ඒ ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය (3D Printing Technology) ඇසුරින් නිවාස නිර්මාණය කිරීමයි. වෛද්‍ය ක්ෂේත්‍රයෙහි, ඉංජිනේරු සේවාවන් වලදී වැනි සියුම් නිර්මාණයන් කිරීමට මෙම තාක්ෂණය මීටපෙර සුලබව භාවිතා වුවද, නිවාස නිර්මාණය කිරීම සඳහා මෙම තාක්ෂණය භාවිතාකළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.


    භූමි කම්පා, ජල ගැලීම් වැනි ස්වභාවික ආපදාවයන් බහුල ප්‍රදේශයක් ලෙස සලකන මෙක්සිකෝවේ ටබැස්කෝ ප්‍රදේශයේ නොදියුණු ගම්මානයක හරිහමන් වාසස්ථාන නොමැතිව පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් New Story ආයතනය විසින් මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී. සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්‍රම මගින් ඒවන විටත් හයිටි, එල්සැල්වදෝර්, බොලිවියාව සහ මෙක්සිකෝව යන රටවල දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් නිවාස 2,700ක් පමණ ගොඩනගා ඇති මෙම ආයතනයට ඉදිකිරීම් කටයුතු ඉක්මන් කරගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍ය වීඇත. එහිදී මෙම ක්ෂේත්‍රයේ තාක්ෂණික සේවා සපයන ආයතනයක් වන ඔස්ටින් හි පිහිටි Icon ආයතනය සමග එක්ව මේ සඳහා ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය යොදාගැනීමට තීරණය කර ඇත. මෙහි ප්‍රතිඵලය ලෙස අඩි 33ක්වූ දැවැන්ත ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් ඔවුන් නිර්මාණය කර ඇත. Vulcan II ලෙස නම්කරන ලද මෙම මුද්‍රණ යන්ත්‍රය මගින් ඒ වෙනුවෙන්ම විශේෂයෙන්ම සකසන ලද කොන්ක්‍රීට් මිශ්‍රණයක් තට්ටු (layers) වශයෙන් මුද්‍රණය කිරීමෙන් නිවාස නිර්මාණය කරනු ලබයි.

    මුලදී දින කිහිපයක් ගතවුවද සුළු වැඩිදියුණු කිරීම් කිහිපයකින් පසු පැය 24කින් අංග සම්පූර්ණ නිවසක් තනා දීමට මෙම යන්ත්‍රය සමත් වනු ඇත. මෙමගින් ඔවුන් නිර්මාණය කරන ලද නිවාස, නිදන කාමර දෙකක්, නාන කාමරයක් සහ කුස්සියක් ඇති සේ අංග සම්පූර්ණව ඉදිකර ඇත. මෘදුකාංගයක (software) ආධාරයෙන් කොන්ක්‍රීට් මිශ්‍රණය, පවතින කාලගුණික තත්ත්වයට ගැළපෙන පරිදි සකස් කර ගැනීමේ හැකියාවද මෙහි ඇති විශේෂත්වයකි.

    තම නිවාස සිහිනය සැබෑ කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සකල ලෝක වාසීන් ටම මෙය ඉතා ප්‍රීතිමත් පුවතක් වනු ඇත. ශ්‍රී ලංකාවේද නිවාස ප්‍රශ්නයට විසඳුම් සෙවීමේදී මෙවැනි තාක්ෂණයක් ප්‍රායෝගිකව, ආදේශකළ හැකිදැයි බලාපොරොත්තු සහගතව බලාසිටිමු…

    (මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

    මංජුල ද සිල්වා

    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    මංජුල ද සිල්වා
    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    ඔබේ අදහස් දක්වන්න.