fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ආණ්ඩුව කරන මාරාන්තික ක්‍රීඩාවේ ඛේදවාචකය අත ළඟයි" - විපක්ෂනායක

    “ආණ්ඩුව කරන මාරාන්තික ක්‍රීඩාවේ ඛේදවාචකය අත ළඟයි” – විපක්ෂනායක

    ආණ්ඩුව කරනු ලබන මාරාන්තික ක්‍රීඩාවේ ඛේදවාචකය අත ළඟ බවත් කොරෝනාවලින් මෙන්ම ආණ්ඩුවෙන් ද ආරක්ෂා වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හා මෙරට විශේෂඥයන්ගේ පවා අනතුරු ඇඟවීම් තිබියදීත් ඒ කිසිවක් නොතකා ආන්ඩුව හිතුවක්කාරී දේශපාලනයක් ක්‍රියාවට නංවමින් සිටින බවයි.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

    “බිහිසුණු කොරෝනා ව්‍යාප්තිය අතින් ලෝකයේ 15 වන තැනට ශ්‍රී ලංකාව පත්ව තිබියදීත් හිතක් පපුවක් නැති පාලකයින් එය තවමත් තුට්ටුවට මායිම් කොට නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයේත් මෙරට සෞඛ්‍ය විශේෂඥයින්ගේත් තීරණාත්මක අනතුරු හැඟවීම් කිසිවක් මායිම් නොකරන ආණ්ඩුව තමන්ගේ අදූරදර්ශී,හිතුවක්කාරී දේශපාලන න්‍යායපත්‍රය පමණක් ක්‍රියාවට නංවමින් සිටී.

    දිවයිනම ආවරණය වන පරිදි හෝ විශාල භූමි ප්‍රදේශ ආවරණය වන පරිදි කෙටි කාලයකට හෝ ඇඳිරි නීතිය පැනවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන අතර,ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක නොකළහොත් ලබන වසරේ ජනවාරි මස වන විට ශ්‍රී ලංකාවේ සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 30,000 දක්වා ඉහළ යනු ඇති බව පුරෝකථනය කරයි.

    මේ ව්‍යසනකාරී මොහොතේ පවත්නා දැඩි අවදානම සැලකිල්ලට ගත් අප විශේෂඥයින්ගේ අනතුරු ඇඟවීම් ද ප්‍රකාරව කෙටි කලකට හෝ රට අගුල් දමන ලෙස ඉල්ලා සිටියේ සියල්ලට වඩා ජනතාවගේ ජීවිත අපට වටින නිසාය.

    කෙසේ වෙතත්,දිනපතා සිදුවන මරණ සංඛ්‍යාව 150 ඉක්මවා තිබියදීත්, හමුවන ආසාදිතයින් ප්‍රමාණයද දහස් ගණන ඉක්මවා තිබියදීත් ආණ්ඩුවට ඒ කිසිවක් පිළිබඳව අංශු මාත්‍රයක හැඟීමක් නැති බව ඔවුන් ගනු ලබමින් සිටින තීන්දු තීරණ තුළින් ම පැහැදිලිවන අතර ඔවුනට ආසාදිතයින් සහ මරණ යනු හුදු ඉලක්කම් සූදුවක් පමණි. කොරෝනා ආසාදන වන රෝගීන් සංඛ්‍යාව 5000 ඉක්මවමින් ඇති බවත් මියයන සංඛ්‍යාව 250 ඉක්මවා ඇති රෝහල්වලින් නිල නොවන වාර්තා ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා චෝදනා කරන අතර එයින් පැහැදිලි වන්නේ නිල සහ නිල නොවන වාර්තා ද ඇති බවය.

    මෙතරම් ව්‍යසනයක් සිදුවී තිබියදීත් ආණ්ඩුව තවමත් අදුරේ අතපත ගාමින් සිටින අතර ඔවුන් උත්සාහ කරන්නේ කොරෝනා ව්‍යාප්තියේ වරද ද ජනතාවගේ කරමත පටවා අත සෝදා ගැනීමට ය.

    ජනතාවගේ මරණ මතින් දේශපාලනය කිරීමට සූදානම් අයෙකුට හැර වෙනත් කිසිවෙකුට මේ මොහොතේ රට විවෘතව තැබීමේ තීන්දුව ගත නොහැකිය. ඒ තරමටම තත්ත්වය උග්‍ර මුහුණුවරක් ගෙන තිබේ.

    කොරෝනා ව්‍යසනය පැමිණි මොහොතේ සිට මේ රටේ ජනතාව වගකීම් සහගත ලෙස කටයුතු කළ බවත් වගකීම් විරහිතව කටයුතු කළේ ආණ්ඩුව බවත් ඕණෑම කෙනෙක් දන්නා සත්‍යය යි. තමන්ට රිසි පරිදි නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සහ වෙනස් කරමින් ආණ්ඩුව කටයුතු කළ අතර සිය බල ව්‍යාපෘතිය වෙනුවෙන් මහ මැතිවරණය කැදවමින් ද,විසිවෙනි සංශෝධනය වෙනුවෙන් පාර්ලිමේන්තුව කැදවමින්ද, කොරෝනා ව්‍යාප්තිය අත්හදා බැලීමට යැයි කියා සංචාරකයින් ගෙන්වමින්ද, කොරෝනාවලින් තොර රටක් බව පවසා මෙරටට “කොරෝනාවලට ආරාධනා” කරමින්ද ආණ්ඩුව කටයුතු කළ අයුරු ජුගුප්සාජනක ය. මේ අන්තනෝමතික තීන්දුවල ඛේදනීය ප්‍රතිඵල භුක්ති විඳින්නේ මේ රටේ අහිංසක ජනතාව ය.

    කොරෝනා වලින් මිය ගිය අයගෙන් සහ ආසාදිතයින් ගෙන් 80%ක් එන්නත ලබා නොගත් අය බව පවසා ආණ්ඩුව ජනතාවට චෝදනා කරන නමුත්,අවශ්‍ය මොහොතේ මෙරටට එන්නත නොගෙන්වා ඒ වෙනුවට මිත්‍යාව සමාජගත කළේ ආණ්ඩුව බව ආණ්ඩුවට සිහිපත් කළ යුතුය. එන්නත ලබා ගන්නට දිරිගන්වනවා වෙනුවට ඊනියා පැණි පිටුපස යන්නට ජනතාව උනන්දු කළේ ආණ්ඩුව විසින්ම බව ආණ්ඩුවට අමතකය.

    ආර්ථිකය ගැන ඊනියා භීතියක් මවා පාමින් රට වසා දැමීම පිළිබඳව ආණ්ඩුව තීන්දුවක් නොගනී. “ආර්ථිකයද, ඔක්සිජන්” ද යන්නෙන් වඩා වැදගත් කුමක්ද යන්න තේරුම් ගන්නට බැරි ආණ්ඩුවකින් මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක.

    කිසියම් භාණ්ඩයකට, කුකුළු මස් කිලෝවකට වෙළෙඳපොළ තුළ මිලක් නියම කළ හැකි වුවද මිනිස් ජීවිතයකට වෙළෙඳපොළ තුළ මිලක් නියම කළ නොහැකි බව ආණ්ඩුව වටහාගත යුතු උවත් අයාලේ යන ආණ්ඩුවකට මේ සත්‍ය වටහාදීමට ගනු ලබන උත්සාහය පවා කාලය අපතේ හැරීම කි.

    අප විසින් අතිශය සද්භාවයෙන් යුතුව ඉදිරිපත් කරනු ලබන සියලු යෝජනා ද, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විශේෂඥයින් ඉදිරිපත් කරන යෝජනා ද අළුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරමින් ආණ්ඩුව සුපුරුදු පරිදි ” ජීවිත සමග ක්‍රීඩා කරමින් ” සිටින අතර එම මාරාන්තික ක්‍රීඩාවෙහි අවසානය මොනතරම් බරපතළ ඛේදවාචකයක් දැයි නුදුරේදීම වටහා ගන්නට හැකි වනු ඇත. එබැවින් අප ජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටින්නේ “කොරෝනාවලින් මෙන්ම ආණ්ඩුවෙන් ද ආරක්ෂා වන ලෙස ” ය. යනුවෙන් ද එහි දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.