ආරක්ෂිත වන සතුන් වන අලි, දිවියන්, වලසුන්, කුළු හරකුන් සහ කිඹුලන් විසින් පහරදීම හේතුවෙන් මිය යන සහ පූර්ණ හා අර්ධ බෙලහීනතාවට පත් වන පුද්ගලයින්ට සහ නිවාස හා දේපළ හානිවලට දැනට ගෙවනු ලබන වන්දි මුදල් වැඩි කිරීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව ආරක්ෂත වන සතුගේ පහරදීමකින් සිදුවන ජීවිත හානියක් සඳහා මෙතෙක් ගෙවන ලද රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල ස්ත්‍රී පුරුෂ භේදයකින් හෝ වයස් භේදයකින් හෝ තොරව රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ නැංවීමටත් පූර්ණ බෙලහීනතාවකට පත් වන පුද්ගලයෙකු සඳහා මෙතෙක් ගෙවන ලද රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල ස්ත්‍රී පුරුෂ භේදයකින් හෝ වයස් භේදයකින් හෝ තොරව රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ නැංවීමත් අර්ධ බෙලහීනතාවකට හෝ ශාරීරික තුවාල සඳහා මෙතෙක් ගෙවන ලද රුපියල් 75,000/-ක වන්දි මුදල රුපියල් 150,000/- දක්වා ඉහළ නැංවීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
වන අලි පහරදීම්වලින් සිදු වන නිවාස හා දේපළ හානි සඳහා මෙතෙක් ගෙවන ලද රුපියල් ලක්ෂයක වන්දි මුදල උපරිමය රුපියල් ලක්ෂ 02 දක්වා ඉහළ නැංවීමටද ඊට අමතරව තීරණය කර තිබේ.