fbpx
තවත්
    මුල් පිටුවspecialජනපති ගෝඨාභයට ජපන් තානාපති දුන් විශිෂ්ට සහතිකය

    ජනපති ගෝඨාභයට ජපන් තානාපති දුන් විශිෂ්ට සහතිකය

    මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ලොව නන් දෙසින් සුබ පැතුම් ලැබෙමින් තිබේ. එහි අලුත්ම කතාව ජපන් තානාපති අකිර සුගියාමා සහ ජනපති ගෝඨාභය රාජපක්ෂ අතර අද පැවැති හමුවයි.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම හමුව ඉතා සුවිශේෂී එකකි. ඊට හේතුවූයේ ජනපති හමුවීමට ජපන් තානාපතිතුමා පැමිණ සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත අලකා සින්ග්, යුනිසෙෆ් නියෝජිත එමා බ්‍රිගම්, ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් චිහාරු හොෂිආයි ඇතුළු පිරිසක් සමඟය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මෙම පිරිස ඉතා මිත්‍රශීලීව සහ ගාම්භීරව පිළිගත්තේය. ජපන් තානාපතිතුමා හඬ අවදිකළේ ඉන් අනතුරුවය. “අතිගරු ජනාධිපතිතුමාට අපට කියන්න සුබ පණිවුඩයක් තියෙනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 1.456 ක තොගය සම්පූර්ණ කරන්න අපි ඉතිරි එන්නත් තොගයත් ලබන සෙනසුරාදා ලංකාවට ගෙනඑනවා” යැයි අකිර සුගියාමා පැවසූවේය.

    ඊට ස්තුති පුද කරන්නත් පෙර අකිර සුගියාමා තානාපතිතුමා සියලු දෙනා ඉදිරියේ තවත් රහසක් ද හෙළි කළේය. අතිගරු ජනාධිපතිතුමා කළ පෞද්ගලික ඉල්ලීම අනුව තමයි අපි මේ එන්නත් තොගය ලබා දෙන්න තීරණය කළේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඔබ ඇතුළු රජය ඉටුකරණ එන්නත්තරණ වැඩපිළිවෙල ගැන ජපාන අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජය සතුට පළ කරන බවත් අකිර සුගියාමා තානාපතිතුමා අවධාරණය කළේය.

    ජනාධිපතිතුමා ඊට ස්තුති කළේ ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මැතිතුමා වෙත පසුගිය මැයි මස 10වැනි දින යවන ලද පෞද්ගලික ඉල්ලීම ගැන ද සිහිපත් කරමිනි. ජපාන අග්‍රාමාත්‍යතුමාට, තමන් ඇතුළු රජයේත් ශ්‍රී ලංකා ජනතාවගේත් ප්‍රණාමය පුද කරන බව ජනාධිපතිතුමා කීවේය.

    ඉන් නොනැවතුණු ජනපති ගෝඨාභය, ජපාන ජනතාවට මෙන්ම මෙරට ජපන් තානාපති අකිර සුගියාමාටත් සිය විශේෂ ස්තුතිය පුද කිරීමට අමතක නොකළේය.

    ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට නොහැකිවේයැයි බියෙන් සිටි මෙරට ජනතාවට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලැබුණ විධිය ජපන් තානාපතිතුමා හෙළි නොකරන්න එයත් වැල්ලේ සැඟව යන රහසක් වීමට බොහෝ විට ඉඩ තිබිණි.

    ඉල්ලු මාත්‍රා ප්‍රමාණයට වඩා දෙගුණයකට ආසන්න මාත්‍රා ප්‍රමාණයක් ලබා දීමට තරම් ජපන් රජයේ කාරුණික අවධානය ඊට යොමුවන්නේ ජනපති ගෝඨාභයට මෙන්ම ශ්‍රී ලාංකික අප සැමට ලැබුණු ගෞරවයක් ලෙසය.

    ජපානයේ සිට පළමු එන්නත් තොගය ගෙන ඒමට ශ්‍රිලන්කන් ගුවන් සේවය පහසුකම් සැළසුවා මෙන් ලබන සෙනසුරාදා දිනයේ ද එම පහසුකම් සැපයීමට ජාතික ගුවන් සේවය සූදානමින් සිටින ජපාන තානාපතිතුමාට මෙහි දී නිලධාරීන් දැනුම් දුන්නේය.

    සංකේතවත් අයුරින් මෙම ප්‍රදානය ජනපති වෙත ලබාදීමෙන් අනතුරුවද කොවිඩ් -19 පාලනය සම්බන්ධ කතා බහ දිගු වූයේ එහි සිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත අලකා සින්ග් නිසාය. ඇය පසුගිය කාලයේ බෙහෝ වාරයක් එන්නත්කරණය ක්‍රියාත්මකවන ආකාරය නිරීක්ෂණය කළාය.

    ඇය මේ හමුවේ දී කී කතාවක් එතැන සිටි පිරිසගේ ඇස් උඩ ගියේය. අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රාජ්‍ය තන්ත්‍රයම එක්වෙලා ශ්‍රී ලංකාවේ කරන මෙම වැඩපිළිවෙල තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළත් ක්‍රියාත්මක කරන්න අවශ්‍යවෙලා තියෙන්නෙ. මෙතන අපි දකන විශේෂත්වය තමයි එක් ආයතනයකට සීමා නොවී ඒකාබද්ධ වෙලා කරන වැඩපිළිවෙල යැයි ඇය කියා සිටියාය.

    එතැන සිටි බොහෝ දෙනෙක් එන්නත්කරණය සම්බන්ධයෙන් ලංකාවට ලැබෙන මෙම පැසසුම් පිළිබඳව ඉහළින් කතා කළහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් මෙම පැසසුම් සිනහවෙන් පිළිගත්තේය. තනාපති නියෝජිත පිරිස නික්ම ගිය පසුත් පසුදිනටත් තිබෙන එන්නත්කරණ වැඩපිළිවෙල ගැන ජනපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරින්ගෙන් විමසා සිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.