fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලන්කන් මොස්කව් බලා පියාසැරිය යළි අරඹයි

    ශ්‍රී ලන්කන් මොස්කව් බලා පියාසැරිය යළි අරඹයි

    ශ්‍රීලංකන් ගුවන් සේවය රුසියානු අගනුවර වන මොස්කව් වෙත නැවත වරක් ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

    ඒ අනුව 2021 ජූලි මස 30 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මොස්කව් බලා පියාසර කරන ලද ගුවන් යානය අද උදෑසන (1) දිවයිනට ලඟාවිය.

    මොස්කව් හි ඩොමෙඩෙඩෝවෝ ගුවන් තොටුපලේ දී එහි නිලධාරීන් විසින් ශ්‍රීලංකන් ගුවන් යානය චාරිත්‍රානුකූලව ජල ආචාර කොට පිළිගනු ලැබීය.

    සමාරම්භක ගුවන් යානයට ජල ආචාර පුද කළ අයුරු

    වසර 6 ක විවේකයකින් පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය රුසියානු අගනුවර වෙත මෙලෙස ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම විශේෂයකි.

    මොස්කව් මංගල ගුවන් ගමන් ආරම්භ කිරීමේ උත්සවය සඳහා එක් වූ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, රුසියාවේ ශ්‍රීලංකන් තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ , ශ්‍රීලංකන් ලෝක ව්‍යාප්ත විකුණුම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන්, ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක, රුසියාවේ ශ්‍රී ලංකා ගුවන් කළමනාකරු ෂර්මල් පෙරේරා සහ ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රධානි චාමර රණසිංහ යන මහත්වරුන් එකව සිටි අයුරු.

    සෑම සිකුරාදා දිනකම ශ්‍රී ලංකාවේ සිට රුසියාව වෙත ශ්‍රීලංකන් සිය ගුවන් ගමන් ආරම්භ කරන්නේ පිරිමැසුම් පංතියේ ආසන 269 ක් සහ ව්‍යාපාරික පන්තියේ ආසන 28 කින් සමන්විත එයාර් බස් A330 වර්ගයේ ගුවන් යානා සමගින්ය.

    සතියකට එක් වරක් එනම් සෑම සිකුරාදා දිනකම ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක වනු ඇත. UL533 ගුවන් යානය පැය 22: 20 ට කොළඹින් පිටත් වී පැය 04: 30 ට මොස්කව් ඩොමෙඩෙඩෝවෝ ගුවන් තොටුපළට ගොඩබසිනු ඇත.

    නැවත ආපසු UL534 මොස්කව් සිට පැය 19:15 ට පිටත් ව ඊළඟ දවසේ එනම් ඉරිදා දින පැය 06:05ට නැවත කොළඹට පැමිණීමට නියමිතයි. මෙම නගර දෙක අතර පියාසර කාලය පැය 8 යි විනාඩි 25 ක් පමණ වේ.

    මොස්කව් කොළඹ ගුවන් ගමන් ආරම්භ කිරීම සනිටුහන් කරමින් මොස්කව්හි ඩොමොඩෙඩෝවෝ ගුවන් තොටුපලේ පැවති විශේෂ උත්සවය අමතන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කළේ කොළඹ සහ මොස්කව් සම්බන්ධ කරන ගුවන් සේවා නැවත ආරම්භ කිරීම සංචාරක කටයුතු වලට පහසුකම් සැපයීම පමණක් නොව දෙරට අතර ද්විපාර්ශ්වික ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට ඉවහල් වන බවයි. එසේම මොස්කව් වෙත නැවත පියාසර කිරීම රටවල් දෙකටම නව අවස්ථා විවර කර දෙනවා සේම සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ ඵෙතිහාසික උරුමය අත්විඳීමේ අවස්ථාව ද උදාවන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    අපගේ නිරන්තර පියාසර වැඩසටහන වන ෆ්ලයිස්මයිල්ස් හවුල්කරුවන්ට සහ සාමාජිකයින්ට ත්‍යාග පිරිනැමීමට ද කටයුතු යොදා ඇත. ප්ලැටිනම් සහ ගෝල්ඩ් සාමාජිකයින්ට වන්වර්ල්ඩ් ජාලය හරහා නොමිලේ විවේකාගාර ප්‍රවේශය, ප්‍රමුඛතාවයෙන් යුත් ව්‍යාපාරික පන්ති ඇතුළත් වීමට අමතරව ගමන් මලු දීමනා වැනි වරප්‍රසාද ගණනාවක් හිමි වේ. ෆ්ලයිස්මයිල්ස් හි සාමාජිකයින්ට මයිලිස් උපයා ගැනීමට සහ ඒ්වා වැය කිරීමට අවස්ථාව හිමිව ඇත.

    මොස්කව් කොළඹ ගුවන් යානයේ පළමු මගියාට හිමි ඇතුළුවීමේ ටිකට්පත ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා විසින් රුසියාවේ ශ්‍රීලංකන් තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මහතා වෙත පිළිගැන්වූ අයුරු

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා මෙසේ පැවසීය. “ශ්‍රීලංකන් ගුවන් සේවයට මෙය සුවිශේෂී ගුවන් සම්බන්ධතාවයක්. අපි ලෝකයේ විශාලතම රටක් හා සම්බන්ධ වීමක් පමණක් නොවෙයි රුසියාව ශ්‍රේෂ්ඨ සංස්කෘතික හා ඵෙතිහාසික ගමනාන්තයක් ලෙස ද මෙය හැඳින්විය හැකියි. නව ගමනාන්තය රුසියාව සහ ඒ අවට රටවල් සම්බන්ධ කිරීම සඳහා පහසු ගමන් මාර්ගයක් ලබා දෙනවා. ශ්‍රීලංකන් ගුවන් සේවය රුසියානු අමුත්තන් සහ අපගේ ගුවන් ගමන් වල යෙදෙන මගීන් පිළිගැනීමට අපි උනන්දුවෙන් බලා සිටිනවා” යැය ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්හ .

    මොස්කව් ගුවන් ගමන් ආරම්භ කිරීමේ උත්සවය / සෙරන්ඩිබ් විවේකාගාරය

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ලෝක ව්‍යාප්ත විකුණුම් අංශ ප්‍රධානී දිමතු තෙන්නකෝන් මහතා මෙසේ පැවසීය. “ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රථම වරට රුසියාවේ අගනුවරට 2015 වසරේ දී පියාසර කිරීම ආරම්භ කළා. එසේම ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමත් සමග කොළඹ කේන්ද්‍රය කර ගනිමින් අපගේ ගෝලීය මාර්ග ජාලය හරහා ඕනෑම ගමනාන්තයක් වෙත ගමන් කිරීම දැන වඩාත් නම්‍යශීලී වනු ඇත. මීට අමතරව, ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සිසුන්ට මෙම මෙහෙයුම් මගින් විශාල ප්‍රතිලාභයක් ලැබෙනු ඇත. තවද මගීන්ට දැන් පුරාණ සෞන්දර්යාත්මක නගරයක් වන මොස්කව්හි සංචාරය කළ හැකි අතර, ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ පියාසර කරන විට සුප්‍රසිද්ධ ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරය අත්විඳිය හැකියි. ” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්හ.

    ආරම්භක ගුවන් ගමනට එක් වූ ගුවන් කාර්ය මණ්ඩලය

    ශ්‍රීලංකන් ගුවන් සේවය එහි මෙහෙයුම් වලදී පිරිසිදුකම හා සනීපාරක්ෂාව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් සහතික කිරීම සඳහා දරන උත්සාහයන් සඳහා ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) හි SimpliFlying සෞඛ්‍ය සුරක්‍ෂිතතා “Diamond” ප්‍රමිතිය පසුගියදා හිමිවිය.

    ශ්‍රී ලංකන් ගුවන් සේවය යනු සේවා, සුවපහසුව, ආරක්ෂාව, විශ්වසනීයත්වය සහ වෙලාවට වැඩ කිරීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙස ස්ථිර කීර්තියක් ඇති සම්මානලාභී ගුවන් සමාගමකි.

    ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ ගමන් කිරීමට අදහස් කරන මගීන්ට කොළඹ, ගාල්ල සහ මහනුවර පිහිටි ගුවන් සමාගමේ ගුවන් ටිකට් පත් කාර්යාලවලින් හෝ ඔවුන්ගේ කැමති සංචාරක නියෝජිතයා හරහා ටිකට්පත් වෙන් කරවා ගත හැකිය. වැඩි විස්තර සඳහා +94117771979 අංකයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන්න හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසෙන්න.

    කොළඹට ලඟා වූ සංචාරකයින්

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.