තවත්

    හග්ගල අනතුරකින් 3ක් මරුට

    0

    නුවරඑළිය – හග්ගල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් ගැටීමෙන්, කාන්තාවන් 03දෙනෙකු මියගොස් තිබේ.

    අනතුරින් තවත් අයෙකු තුවාල ලබා ඇත.

    අනතුර සිදු කර පලාගිය ලොරි රථ රියදුරා සොයා විමර්ශන අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කීය.

    ප්‍රවේශමෙන්: රිය අනතුරු වැඩිම කාලය ඉදිරියෙන්

    0
    Car crash accident on street with damaged automobiles after collision

    ශ්‍රී ලංකාවේ රිය අනතුරු වැඩිම
    ප්‍රමාණයක්‌ සිදුවන්නේ අප්‍රේල්‌ මාසයේ බැවින් ඉදිරි දිනවලදී මාර්ග ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක්‌ යොමුකරන ලෙස පොලිසිය පදිකයන් මෙන්ම රියදුරන්ගෙන් ද ඉල්ලීමක් කරයි.

    අද(01) පැවති මාධ්‍ය හමුවකට එක්‌
    වෙමින් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය
    පොලිස්පති අපිත්‌ රෝහණ පැවසුවේ අප්‍රේල්‌ 10 වනදා සහ 20 වනදා අතර
    කාලය මෙරට වැඩිම රිය අනතුරු
    වාර්තා වන කාලය බවයි.

    රායප්පු ජෝශප් පියතුමන් ස්වර්ගස්ත වෙයි

    0

    මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝශප් පියතුමන් ස්වර්ගස්ත වී තිබේ.

    යාපනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (01) අලුයම ජෝශප් උන්වහන්සේ ස්වර්ගස්ත වී ඇත.

    සති කිහිපයක සිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රායප්පු ජෝශප් පියතුමන් 2016 ජනවාරි 16 වන දින දක්වා මන්නාරම රදගුරුවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

    1940 අප්‍රේල් 16 වන දින ඩෙල්ෆ්හිදී උපත ලැබූ ජෝසප් පියතුමන් ස්වර්ගස්ත වන විට 80 වන වියෙහි පසු විය.

    සිරකරුවන්ගේ හොරබඩු අල්ලන්න අලුත් වැඩක්

    0

    බන්ධනාගාරවල සිරකරුවන් හොරරහසේ භාවිතා කරන ජංගම දුරකතන ඇතුළු ඉලෙක්ට්‍රෝනික් උපකරණ හදුනා ගැනීම සදහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් මිලදී ගැනීමට බන්ධනාගාර බලධාරීන් තීරණය කර තිිබේ.

    එම උපකරණ මිලදී ගැනීමට අදාල ප්‍රසම්පාදන කටයුතු පවා මේ වන විට ආරම්භ වී ඇත. එම උපකරණ මිලදී ගැනීමෙන් පසු ඒ සම්බනධයෙන් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමකට පුහුණුව ලබාදී වැටලීම් ආරම්භකරන බව බන්ධනාගාර උසස් නිලධාරියෙක් සදහන් කළේය.

    මාෆියාව බිඳින්න අද සිට අඩු මිලට සහල්

    0

    සහල් මාෆියාව බිද දැමීමට අද 01 සිට අඩු මිලට සහල් ලබාදීමට ආණ්ඩුව විධිමත් වැඩ පිළිවෙලකි දියත්කර ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරයි.

    ඒ අනුව අද සිට නාඩු සහල් කිලෝවක් රුපියල් 97 කටත්, සුදු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 93 බැගින්ද සතොස ඇතුළු දිවයිනේ පිහිටි ඕනෑම සුපිරි වෙළද සැලකින්ම මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ඇතැයිද ඇමතිවරයා සදහන් කළේය.

    එසේම සිල්ලර වෙළෙන්දාට පවා අඩු මිලට හාල් පාරිභෝකයාට අලෙවි කිරීමට හැකියාව ලබාදෙමින් වී අලෙවි මණ්ඩලය හරහා සහල්තොග වෙළද පොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයිද ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.

    අවුරුද්දට ෂොපිං යද්දී අනිවාර්යයෙන් කළ යුතු දේ ගැන WHO පණිවිඩයක්

    0

    සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් සාප්පු සවාරි යන ශ්‍රී ලාංකික ජනතාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මගින් විශේෂ දැනුම්දීමක් කරයි.

    සාප්පු සවාරි යන අතරතුරදී වුවද කෝවිඩ්-19 වසංගතයෙන් සුරක්ෂිත වීම සඳහා පහත දැක්වෙන කරුණු අනුගමනය කරන ලෙස එම සංවිධානය නිවේදනය කරයි.

    • 👨‍👩‍👦‍👦🏣 සෙනඟ වැඩි වෙළෙඳසල් මගහරින්න
    • 🧍↔️🧍 මීටරයක පරතරයක් තබාගන්න
    • 🧼🖐 නිතර දෑත් සෝදන්න
    • 😷 මුහුණු ආවරණ පළඳින්න

    රවී එළියට

    0

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා ඇතුළු හය දෙනකුට අධිකරණය මගින් අද ඇප ලබා දී තිබේ.

    2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

    අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබීය.

    ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බව ද නියෝග කළේය.

    එම නියෝගය ආගමන විගමන පාලකවරයා ඇතුළු ගුවන්තොටුපල බලධාරීන් වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල නියෝග කර සිටියේය.

    විත්තිකරුවන් නඩු විභාග සඳහා අඛණ්ඩව පෙනී සිටීම අත්‍යාවශ්‍ය කරුණක් යැයි පෙන්වා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එසේ නඩු විභාගයට පෙනී සිටීම මඟහරිනු ලැබූවොත් ඇප අවලංගු කොට නඩු විභාග අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බව ද නියම කළේය.

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව පවතින නඩුකරය ඉතා සංකීර්ණ නඩු කටයුත්තක් බවය.

    එබැවින් විත්තිකරුවන්ට සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට තිබෙන අයිතිය සුවිශේෂී කරුණක් සේ සලකා ඔවුන් ඇප මත මුදාහැරීමට තීන්දු කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

    අනතුරුව නඩුව යළි අප්‍රේල් මස 29 වනදා කැඳවීමට ද නියම කෙරුණි.

    පිලිකාකාරක පොල් තෙල් බවුසර් උසාවියෙන් රේගුවට දුන් පුද්ගලයා හෙළිවෙයි

    0

    ආන්දෝලනයකට තුඩු දුන් පිලිකාකාරක පොල් තෙල් බවුසර් දෙකක් අධිකරණයට ඉදිරිපත් කර තිබියදී එය රේගුව භාරයට පත් කිරීම කර ඇත්තේ පොලිස් නීති අංශයේ ඉහළ නිලධාරියකු විසින් දන්කොටුව පොලිසියට ලබාදුන් නියෝගයකට අනුව බව හෙළිවී තිබේ.

    එම අධිකරණ භාරයේ තිබූ පිළිකාකාරක පොල් තෙල් බවුසර් දෙක සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මේ වන විට වනවිට පොලිස්පතිවරයාට මාරවිල මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් වරයා විසින් නියෝග කර තිබේ.

    අධිකරණය විසින් මේ රේගුවට භාරදීමට අවශ්‍යතාවයක් තිබුණේ නම් අධිකරණයට බාර දුන්නේ ඇයි දැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා දැඩිව පොලිසියෙන් ප්‍රශ්න කර තිබේ.

    මෙහිදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම පොල් තෙල් බවුසර් රේගු භාරයේ තිබූ ඒවා බවත් එතනින් කෙසේ හෝ මේවා පන්නා ඇති බැවින් රේගුවට ආරක්ෂා කර ගැනීමට නොහැකි නම් යළිත් මෙම බවුසර රේගුවට භාරදීමේ ඇති පලක් තිබේදැයි යනුවෙනි.

    පාස්කු ප්‍රහාරයෙන් පසු සහරාන්ලාගේ වීඩීයෝ මුදාහැරි පුද්ගලයා ඇතුළු 4ක් අත්අඩංගුවට

    0

    පාස්කු ප්‍රහාරය එල්ල කර පැය ගණනකට පසුව සහරාන් හෂීම් සෙසු මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයා ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය විසිනි.

    සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාදයන් අන්තර්ජාලය හරහා විකාශනය කිරීම සම්බන්ධයෙන් ඊයේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි.

    එක් සැකකරුවෙක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක් වන අතර, අනෙක් පුද්ගලයා 32 හැවිරිදි තිහාරියේ පදිංචි අයෙකි.

    මේ පිළිබඳ අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

    “මොවුන් විසින් ‘වන් උම්මා‘ නමින් වට්ස්ඇප් කණ්ඩායමක් නිර්මාණය කරමින් අන්තවාදී මතවාද කටාර් රාජ්‍යයේ සිට විවිධ ආකාරයෙන් ප්‍රචාරය කර තිබෙන බවට වාර්තා වෙනවා. මේ පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් කටාර් රාජ්‍යයේ රැකියා කරමින් සිට තිබෙනවා. පසුව අප විසින් කරන ලද දැනුම්දීමක් අනුව නොවැම්බර් 21 වන දින ඔවුන් කටාර් රාජ්‍යයෙන් පිටුවහල් කර ලංකාවට එවා තිබුණා. “ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.

    2018 වසරේ අවසන් කාලයේ දී මූතූර් ප්‍රදේශයේ දී අන්තවාදී පන්ති පවත්වාගෙන යෑමට පහසුකම් ලබාදීමේ චෝදනාව මත ඊයේ (31) දිනයේ දී තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ ත්‍රස්තක්‍රියා විමර්ශන ඒකකය විසිනි.

    ඔවුන් මූතූර් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි හා 38 හැවිරිදි පුද්ගලයින් ය.

    සහරාන් හෂීම්ගේ අනුගාමිකයින් විසින් 2018 දී සාමාන්‍ය පෙළ අවසන් කළ මුස්ලිම් දරුවන් සඳහා එලෙස පන්ති පවත්වා ඇත

    අත්අඩංගුවට පත් පුද්ගලයින් සිව්දෙනා ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කෙරේ.

    රන්ජන්ට එරෙහි නඩුව මහින්දානන්ද ඉල්ලා අස්කර ගනී

    0

    මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් හරහා තමාට අගතියක් සිදුවූ බව බවසමින් ආමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව අද (31) ඉල්ලා අස්කරගෙන තිබේ.

    “මම මේ නඩුව ඉල්ලා අස්කරගත්තා. මම දැක්ක රංජන් අහිංසක මනුස්සයෙක්. ඔහුව නොමඟ යැව්වා. රන්ජන් දැන් අසරණ වෙලා ඉන්නේ. ජනපති කිව්වා පළිගන්න එපා කියලා. රන්ජන් වැඩියෙන්ම මඩ ගහපු කෙනා රංජන්ට සමාව දුන්නා. රන්ජන් ගැන මම කනගාටු වෙනවා. රන්ජන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි. “ යැයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය.

    2016 දී මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රි නිවාස සංකීර්ණයේදී පැවැත්වූ මාධ්‍ය හමුවක දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම නඩුව ගොනු කර තිබුණි.

    එම චෝදනාව සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා 2016 වසරේ දී එම ප්‍රකාශයෙන් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් රන්ජන් රාමනායක මහතාගෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලමින් ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කළේය.

    සිව් වසරක් පුරා විභාගයට ගැනෙන එම නඩුව ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (31) යළි කැඳවනු ලැබීය.

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී මේ වනවිට බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතා ද නඩු කටයුත්තට පැමිණ සිටි බව මහින්දානන්ද අලුත්ගම මහතා පැවසීය.

    සුපිරි වෙළඳසැල් අත්දැකීමේ නව්‍යතම පෙරළිය ග්ලෝමාර්ක් CR & FC ශාඛාව විවෘත වෙයි

    0

    මෙරට සුපිරි වෙළඳසැල් අතර විප්ලවීය මෙන්ම නව්‍යකරණ සිල්ලර වෙළෙඳ සන්නාමයක් ලෙස ග්ලෝමාර්ක් ශ්‍රී ලංකාවේ නවීන වෙළඳ ක්ෂේත්‍රය තුළ සිය පැවැත්ම තවදුරටත් පුළුල් කරමින්
    කොළඹ නගරයේ කේන්ද්‍රය වන CR & FC හි සිය 10වන ග්ලෝමාර්ක් සුපිරි වෙළදසැලේ ප්‍රධාන ශාඛාව අද (31) පෙරවරුවේ සුබ මොහොතින් විවෘත කළේය.

    ග්ලෝමාර්ක් සුපිරි වෙළෙඳසැල් ජාලයේ මෙම නවතම ශාඛාව අංක 24, මලලසේකර මාවත, කොළඹ 7 හි පිහිටා ඇත.

    බේකරි නිෂ්පාදන, උණුසුම් ආහාර ගණනාවක එකතුවක්, වියළි ආහාර, කාබනික නිෂ්පාදන, ගෘහ භාණ්ඩ, බිම් මහල තුළ ආසිරි ඖෂධ හලක් සහ සොෆ්ට්ලොජික් මැක්ස් ශාඛාවක් ද නව ශාඛාව තුළම පිහිටා තිබීමෙන් සියල්ල එකම වහළක් යටින් මිලට ගැනීමේ පහසුකම් සලසා තිබේ. පාරිභෝගික භාණ්ඩ මෙන්ම ඉලෙක්ට්‍රොනික හා ගෘහ භාණ්ඩ සඳහා ද පුළුල් ප්‍රදේශයක් මෙහි වෙන්කර ඇත.

    සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති / කළමණාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා මේ පිළිබඳ මෙසේ අදහස් පළකළේය.

    “ ගෝලීය වෙළෙඳ අත්දැකීමක් සහිත අපගේ සුපිරි වෙළඳසැල් ජාලය මෙමගින් තවදුරටත් පුළුල් කිරීමට හැකිවීම ඉතාම සතුටුදායක අවස්ථාවක්.

    මෙම ප්‍රධාන වෙළඳසැල සමඟ සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් නිෂ්පාදන රැසක් සමගින් පාරිභෝගිකයන්ගේ ජීවන රටාව වැඩිදියුණු කරන ආශ්වාදජනක සාප්පු සවාරි අත්දැකීමක් ලබා දෙයි.

    තවද, සොෆ්ට්ලොජික් මැක්ස් විසින් බලගැන්වෙන අංගසම්පූර්ණ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ පරාසයක්, ආසිරි ඖෂධහලක් සමඟ ගුණාත්මක ඖෂධ නිෂ්පාදන මාලාවක්, සොෆ්ට්ලොජික් ගෘහ භාණ්ඩ රැසක්, බේකරි නිෂ්පාදන හා උණුසුම් ආහාර වර්ග ඇතුළත් කිරීම මගින් පාරිභෝගික අත්දැකීම් මෙහිදී තවදුරටත් ඉහළ නංවනවා.

    නව සුපිරි වෙළඳසැල සාමාන්‍ය සුපිරි වෙළඳසැල් වලට වඩා වෙනස් අත්දැකීම් ලබා දෙන බව පාරිභෝගික ඔබට ලබාදෙන පොරොන්දුවක් බව හෙතම කියා සිටියේය.

    සොෆ්ට්ලොජික් සුපර්මාකට් ප්‍රයිවට් ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරි ඇන්ඩෲ ඩැල්බි මහතා එහිදී මෙසේ අදහස් දැක්වීය.

    “ග්ලෝමාර්ක් විසින් අසමසම පාරිභෝගික අත්දැකීමක් සඳහා පුළුල් පරාසයක අයිතම සහ හොඳම සේවාවක් සපයනු ලබනවා. සොෆ්ට්ලොජික් ඔබට ලබා දෙන්නේ නවීන වෙළඳ ලෝකය පුරා විසිරී ඇති පුළුල්ම තේරීමයි. එමගින් පාරිභෝගිකයාට නැවුම් සහ උසස්ම ප්‍රමිතියෙන් යුත් දේ ලබාදෙනවා.

    මෙහිදී දේශීය නිෂ්පාදන, කාබනික ආහාර වර්ග බොහොමයක් මෙන්ම දේශීය පාරිභෝගිකයන්ට ග්ලෝමාර්ක් වෙතින් පමණක් හමුවන සුවිශේෂී නිෂ්පාදන බොහොමයක් ද ඉදිරිපත් කර තිබෙනවා.

    තවද, සෑම කෙනෙකුම ඉතා සෞඛ්‍ය සම්පන්නව සිටිය යුතු අතර පශ්චාත් වසංගත නව සාමාන්‍ය තත්වයට, ග්ලෝමාර්ක් අනුගත කිරීම සඳහා සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව අපි සියලු සෞඛ්‍යාරක්ෂිත පියවර ගෙන තිබෙනවා.

    CR & FC වෙත එන අපගේ සියලුම ගනුදෙනුකරුවන් සඳහා ආරක්ෂිත ඉඩක් GLOMARK CR & FC මඟින් ලබාදෙන්නේ සියලුම අවශ්‍යතා එකම තැනකින් මිලදී ගැනීම පහසු කරමින්. ඒ නිසාම ඔබට අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා වෙළඳසැල් කිහිපයකට යාමට, වාහන තදබදවල සිරවීමට සහ සාප්පු වෙත පිවිසෙන හැමවිටම අත් සේදීම ආදී දේ මෙහිදී අවම වෙන්නේ සියල්ල එකම වහළක් යටින් ඔබට ලබාගත හැකි පහසුකමින් යුක්ත නිසයි. ”

    සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා තවදුරටත් අදහස් දක්වමින් මෙසේ කීය.

    “සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් කටයුතු කරනවා. ඒ නිසා ඔබට අපගේ ව්‍යාපාරය තුළ තාක්ෂණය, සෞඛ්‍යය, සිල්ලර වෙළඳාම, මූල්‍ය සේවා, මෝටර් රථ සහ විනෝදාත්මක යන සියලු අංශ ආවරණය වන ලෙස සේවා සැපයිම සඳහා අපව පොළඹවා තිබෙනවා. මෙම ප්‍රධානතම සහ 10 වන ග්ලෝමාර්ක් ශාඛාව ඔස්සේ අපගේ සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් වෙනවා. වසර දෙක හමාරක් වැනි සුළු කාලයක් තුළ සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් සන්නාමය සුවිශේෂී වර්ධනයක් අත්පත් කර ගැනීම පිළිබඳ අපගේ කාර්ය මණ්ඩලයට මම සුබ පතන්න කැමතියි. ඔබට සිත්ගන්නාසුලු, අද්විතීය ගෝලීය සාප්පු සවාරි අත්දැකීමක් ලබාගන්නට CR & FCහි පිහිටි සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් වෙත පිවිසෙන ලෙස අපි ආරාධනා කරනවා”යැයි හෙතම කියා සිටියේය.

    සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා

    සොෆ්ට්ලොජික් සමූහය තුළ 11,000 කට අධික පිරිසක් සේවය කරන අතර ශ්‍රී
    ලංකාව සහ ඕස්ට්‍රේලියාව තුළ වාර්ෂිකව උත්පාදනය කරන ඇ.ඩො. මි. 750 ට වැඩි වත්කම් එහි පදනම වේ.

    ඇමරිකානු ඩොලර් මිලියන 420 ට වැඩි පිරිවැටුමක් ඇති සොෆ්ට්ලොජික් හි කීර්තිමත් ගෝලීය ආයතන සහ විශාල බහුජාතික සමාගම් සමඟ සමූහයේ නිරූපණයන් සහ උපායමාර්ගික සන්ධාන එහි අසමසම දේශීය තත්ත්වය තහවුරු කරයි.

    දිස්ත්‍රික් 6කට අධික රස්නය ගැන අනතුරු ඇඟවීමක්

    0

    දිස්ත්‍රික්ක 6 කට දැඩි උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    ඒ අනුව අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිව් සහ වවුනියාව යන දිස්ත්‍රික්වල ජනතාවට මෙම අනතුරු ඇඟවීම නිකුත්කර ඇත.

    එම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශක එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “වැඩි අවධානය“ යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ඒ අනුව එම දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 41ක් අතර දක්වා ඉහළ යා හැකි බව සඳහන්ය.

    මේ හේතුවෙන් වැඩබිම්වල සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු බව කාලගුණ විද්‍යාඥයන්ගේ දැනුම් දීමයි.

    නිවෙස්වල සිටින වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ද එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

    චීන කොවිඩ් එන්නත් තොගයත් එයි

    0

    චීන රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් තොගය චීන තානාපති චී.ජෙන්හොන් (Qi Zhenhong) මහතා විසින් අද (31) දහවල් කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාරදී තිබේ.

    අද දිවයිනට ගෙන එනු ලැබූ චීනයේ නිෂ්පාදනය කරන ලද සිනෝෆාම් එන්නත මෙරට සිටින චීන ජාතිකයන්ට එන්නත දීම ලබන සඳුදා සිට ආරම්භ කළද ශ්‍රී ලාංකීය ජනතාවට එන්නත් ලබාදීම විශේෂඥ කමිටුවක අධ්‍යයනයෙන් පසු සිදු කෙරෙන බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

    ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජිං පින් මහතාගෙන් කළ ඉල්ලීම අනුව එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරිණ.

    චීනයේ බීජිං අගනුවර ජාතික බයෝටෙක් ඖෂධ සමාගම “සිනොෆාම්” කොවිඩ් මර්ධන එන්නත නිෂ්පාදනය කර තිබේ.

    එන්නත් මාත්‍රා ලක්ෂ 06 රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 869 දරණ ගුවන් යානය අද (31) පෙ.ව 11.28 ට බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළගා විය.

    ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුළ ගබඩාකර, රැගෙන ආ එන්නත් තොගය ගුවන්තොටුපොළ ගුවන් ගැල් ගම්මානයේ ශීතාගාර තුළ ගබඩා කෙරේ. අනතුරුව ශීතාගාර සහිත වාහනවලින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට සැලසුම් කර ඇත.

    එන්නත් ලක්ෂ 06 භාරදීමට අදාළ ලියකියවිලිවලට චීන තානාපති චී.ජෙන්හොන් (Qi Zhenhong) මහතා සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අත්සන් තැබූහ.

    අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තාරක බාලසූරිය යන මහත්වරු ද, චීන විශේෂ දූත පිරිස, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්ම මහත්මීහු සහ අමාත්‍යාංශ ලේකම්වරු, සෞඛ්‍ය අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    අවුරුදු ගමන් යන්න අමතර බස් සේවාවක්

    0
    cof

    සිංහල දෙමළ අළුත් අවුරුද්දට ගම් බිම් බලා ගමන් කරන ජනතාවගේ පහසුව සදහා ලබන 04 වෙනිදා සිට 13 වෙනිදා දක්වා අමතර බස් සේවාවක් යෙදවීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබේ.

    දුරගමන් සදහා අමතර බස් රථ 200 ක් ඒ සදහා යෙදවෙන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා සදහන් කරයි.

    පිටකොටුව, කළුතර,බැස්ටියන් මාවත, කොට්ටාව, ගම්පහ, පානදුර, මොරටුව, කඩුවෙල ආදී නගරවලින් එම බස් රථ ගමන් ආරම්භ කෙරෙන බවත් ඒවා දිවයිනේ සියළුම දුරබැහැර නගර වෙත ධාවනය වන බවත් ප්‍රසන්න සංජීව මහතා සදහන් කළේය.

    ගම්බිම් බලා ගමන් කරන මගීන්ට අලුත් අවුරුද්දෙන් පසු නැවත පැමිණීමටද විශේෂ බස් රථ සේවාවන් යෙදවෙන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

    පැනමා තෙල් ගවේෂණ නෞකා දෙකක් හම්බන්තොට වරායට

    0

    ‘වෙස්ට් කරීනා’ සහ ‘වෙස්ට් පොලාරිස්’ නැමැති පැනමා ධජය යටතේ යාත්‍රා වන තෙල් ගවේෂණ නෞකා පසුගියදා, දිගු කාලීන ආම්පන්න සැකසීමකට හා අලුත්වැඩියා සේවා සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නැංගුරම් ලෑවේය. මෙම වසරේ ජනවාරි මාසයේදී පැමිණි මෙම නෞකා පිළිවෙලින් වසරක් සහ හය මසක කාලයක් වරායේ රැඳෙනු ඇත.

    හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා පවසන්නේ මෙසේ දීර්ඝකාලීනව රැදී සිටින නෞකා සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන සැපයීම් සහ අනෙකුත් සේවාවන් ලබා දීම සඳහා දේශීය සේවා සපයන්නන්ට මෙය කදිම අවස්ථාවක් වන බවයි. ‘නඩත්තු කිරීම්, කාර්ය මණ්ඩල වෙනස් කිරීම සඳහා අවශ්‍ය සහාය, සමීක්ෂණ පැවැත්වීම, අපද්‍රව්‍ය ඉවත් කිරීම් වැනි සේවාවන් මේ අතර සුවිශේෂි වේ’ යැයි ඔහු ප්‍රකාශ කරයි.

    සේවාවන් පිළිබඳව අදහස් දක්වමින් හේලීස් බලශක්ති සේවා ලංකා (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂක සහ උපායමාර්ගික ව්‍යාපාර ඒකක ප්‍රධානි රිකී බානට් මහතා සඳහන් කරන්නේ මෙම නෞකා දෙකෙහි පැමිණීම, හම්බන්තොට වරායේද සහය සහිතව පවත්වාගෙන යන ව්‍යාපාරය තුළ ලැබූ තවත් එක් ජයග්‍රණයක් බවයි.

    වරාය සතු ව්‍යාපාරික දැනුම, නැව් සඳහා පහසුකම් සැපයීම සඳහා දැක් වූ සහයෝගය සහ වර්තමාන අභියෝගයන්ට මුහුණ දීම සඳහා ඔවුන්ගේ මෙහෙයුම් යථා වැඩිදියුණු කිරිම, මෙම සාර්ථකත්වයට හේතු වූ බව, අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටී.

    ගෙවුණු මාස තුනට මහමග රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් 18ක් මරුට

    0

    මේ වසරේ මේ දක්වා කාලය තුළ මාර්ගයේ රාජකාරි කරමින් සිටියදී පොලිස් නිලධාරින් 72 නෙකු අනතුරට ලක්වී ඇති අතර ඉන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

    පසුගිය වසර තුළ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් 293ක් අනතුරට ලක්ව ඇති බව ඇතිබව අමාත්‍යවරයා ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඉන් 28 දෙනෙකු මියගොස් තිබේ.

    එබැවින් පොලිස් නිලධාරින් කටයුතු කරනුයේ දැඩි පීඩනයක වන නමුත් කුමන තත්වයක් යටතේ වුවත් පොලිස් නිලධාරියෙකුට සිවිල් පුද්ගලයෙකුට පහර දීමේ හැකියාවක් නැතැයි ඔහු කීය.

    සමාජයේ දැඩි විවේචනයට ලක්වූ පන්නිපිටියේ සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ කිසිදු පොලිස් නිලධාරියෙකුට සිවිල් පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දීමේ අයිතියක් නැති බවය.

    එබැවින් එම සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව අමාත්‍යවරයා සිහිපත් කළේය.

    ASP එරික් පෙරේරාගේ මාරුවට ප්‍රසිද්ධියේ කියන්න බැරි හේතුවක්

    0

    සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ ස්ථාන මාරුවට ප්‍රසිද්ධියේ කිව නොහැකි හේතුවක් ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.

    මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයක් වෙත පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ කීය.

    “සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ ගම තමයි වෙන්නප්පුව. ඔහු හොඳට වැඩ කරනවා තමයි. නමුත් ඒ වුණාට යම් යම් වෙනත් හේතු මත තමයි එතුමාව වෙනත් ස්ථානයකට මාරු කළේ. මීගමුවට දැන් මාරු කරලා තියෙන්නේ එතුමාගේම ඉල්ලීම අනුවයි. ඕනම කෙනෙක් හොඳට වැඩ කරන්න පුළුවන්. ඒත් වෙනත් හේතු තියෙන්නත් පුළුවන්. ඒවා සාමාන්‍යයෙන් අපි ප්‍රසිද්ධියේ කියන්නේ නෑ. එනිසා ඒවා විමර්ශනය කරනවා. ඒ විමර්ශනය කරන අතරතුර තමයි එතුමාව මාරු කළේ. නමුත් එතුමාගේම ඉල්ලීම පරිදි තමයි අපි දැන් මීගමුවට මාරු කරලා තියෙන්නේ.”

    Softlogic GLOMARK කොළඹ 07 අත්දැකීම හෙට සිට

    0

    සොෆ්ලොජික් ග්ලෝමාර්ක් ( Softlogic GLOMARK) සුපිරි වෙළෙඳසැල් ජාලය තවදුරටත් පුළුල් කරමින් සිය නවතම ශාඛාව කොළඹ 07, මලලසේකර මාවතේ අංක 24 දරණ ස්ථානයේ හෙට (31) දින පෙරවරුවේ විවෘත වේ.

    වෙළඳපොලේ විප්ලවීය වෙනසක් කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවිකරණයේ නවමු ගමනක යෙදෙන සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් ශ්‍රී ලංකාවේ නවීන වෙළඳ ක්ෂේත්‍රය තුළ සිය පැවැත්ම තවදුරටත් පුළුල් කරමින් නව සුපිරි ශාඛාව විවෘත කරනු ලබයි.

    ග්ලෝමාර්ක් අලෙවිසැල් ජාලය මගින් දේශීය හා විදේශීය වෙළඳපොළ නිෂ්පාදන රාශියක් සහ විශිෂ්ට පාරිභෝගික සේවාවක් සමඟින් ඔබ වෙත ගෙන එනු ලබයි.

    සම්ප්‍රදායික සුපිරි වෙළෙඳසැල්වලින් ඔබ්බට ගොස් අන්තර්ජාතික සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් විශේෂත්වයයි.

    දෙල්කඳ , නාවල, ගල්කිස්ස සහ කොට්ටාව, කුරුණෑගල සහ මාළඹේ ප්‍රදේශවල දී ඔබට ලැබුණු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, සිල්ලර භාණ්ඩ , නැවුම් ආහාර, කාබනික ආහාර වර්ග ගණනාවක් සහ බේකරි නිෂ්පාදන වැනි දේ සඳහා ප්‍රියතම සාප්පු ගමනාන්තයක් බවට සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් පත්ව තිබේ.

    පන්නිපිටියේ දී රියැදුරකුට පහර දුන් පොලිස් කොස්තාපල් රිමාන්ඩ් – රියදුරුට ඇප

    0

    හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේදී රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටි මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව අනතුරට ලක්කල ලොරි රථයක රියදුරාට මහමගදී අමානුෂික ලෙස පහරදුන් රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයාව ලබන අප්‍රේල් 05 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද 30 නියෝග කළේය.

    රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව අනතුරට ලක්කල ලොරි රථයේ රියදුරාවද අද අධිකරණයට ඉදිරිපත් කළ විට ඇපමත නිදහස් කර තිබේ.

    පොලිස් කොස්තාපල්වරයා සමග රියදුරුට පහරදෙන සිවිල් ඇදුමින් සිටි පුද්ගලයා සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශනයක් පවත්වන බව මහරගම පොලීසිය සදහන් කරයි.

    අනතුරට ලක්වූ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

    පොලිස් නිලධාරීන් පිරිසකට උසස්වීම්

    0

    පොලිස් ඇකඩමියේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සහ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් යන මහත්වරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයන්ට උසස් කිරීමට නිර්දේශ වී තිබේ.

    මහජන ආරක්ෂක අමාත්‍යාංශයට ඒ සම්බන්ධයෙන් වූ නිර්දේශ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මේ වන විට යොමුකර ඇත. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම නිර්දේශයන් සම්බන්ධයෙන් යම් පරීක්ෂාවක් කර රාජ්‍ය සේවා කොමිසමට එම නිලධාරීන් දෙදෙනාගේ නම් අනුමත කිරීමට යොමු කෙරනු ඇත.

    උතුරු පළාත් භාරව සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පත්මසිරි මුණසිංහ, ඌව පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු සහ වයඹ පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන යන මහත්වරුන් විශ්‍රාම ගැනීමත් සමග මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධුර 03 ක පුරප්පාඩු පවතී. එම පුරප්පාඩුවලින් දෙකක් පමණක් සම්පූර්ණ කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ නාමයන් පමණක් නිර්දේශකර ඇත්තේ මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින ලලිත් ජයසිංහ මහතා නැවත පොලිස් සේවයට පැමිණීමේ අවස්ථාවක් පවතින බැවින් ඔහු වෙනුවෙන් බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

    ලලිත් ජයසිංහ මහතාගේ වයස අවුරුදු 60 පිරී විශ්‍රාම යන්නට නියමිතව ඇත්තේ ලබන මැයි මාසයේදීය. පොලීසියේ මේ වන විට පරිපාලන ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතාද ලබන ජුනි මාසයේ විශ්‍රාම ගැනීඹට නියමිතය. දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා මහතාද ඒ අතර විශ්‍රාම ගැනීමට නියමිතය.

    මෙම නිලධාරීන් විශ්‍රාම ගැනීමත් සමග තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූර 03 ක පුරප්පාඩු වීමට නියමිතව ඇත. එම පුරප්පාඩු සදහා පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු , අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශ ප්‍රධානී එම්.ඩී.ආර්.එස්.දමින්ද සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහන යන මහත්වරුන් පිළිවෙලින් පත් කිරීමට නියමිතය.

    පිළිකාකාරක Aflatoxin විෂ එන්නේ තෙල්වලින් විතරක් නෙවෙයි

    0

    මේ දිනවල අපේ රටේ කතාබහට ලක්වෙලා තියන පිළිකාකාරක විශ සහිත පොල්තෙල්වල Aflatoxin B කියන විශ(ධුලකය) අන්තර්ගත වෙලා තිබෙන බව කියවෙනව.ඉතින් මේ පිළිකාකාරකය පිලිබද බියෙන් පොල්තෙල් පරිබෝජනය පවා අතහරින්න ජනතාව පෙලඹි තිබෙනව. ඔව් ඒක ඒතරම් විශ සහිත දුලකයක් තමයි.

    විශේෂයෙන්ම කුඩා දරුවන්ට අක්මා රෝග, පිළිකා සහා වර්දන ඌනතා ඇතිකරන බවයි හකියන්නෙ. හැබැයි ඔය කියන තරම් ආගන්තුක දෙයක් නම් නොවෙයි.
    ඔබත් මමත් මේ විශවර්ගයට නිරාවරනය වෙලා ඇති. වැඩිහිටියන්ට සුලු මාත්‍රාවකදි දරුනු ප්‍රතිපල ඇති නොවුනත් දීර්ඝකාලින බලපැම් එනව.

    මේ ඇප්ල ටොක්ෂින් විශවිමේ සිදුවීමකින් 2003 කෙන්යාවෙ පුද්ගලයින් 120ක් මියගියා.

    අපේ පරිසරයේ බොහෝතැන්වල සුලභව වැඩෙන පුස් වර්ගයක් ( දිලීරයක්) තිබෙනව Aspergillus flavus කියල. මේක පසේ , ඒ වගේම ධාන්‍ය වර්ගවල, දිරාපත්වෙන ශාක කොටස්වල වැඩෙනව. මේ දිලීරය ඉරිගු ඇට,කජු,ඇතුලු බොහෝමයක් ධාන්‍ය වර්ග වල වැඩෙනව.

    විශේෂයෙන්ම කාලයක් තෙතමනය සහිත උනුසුම් තැනක ගබඩාකර තිබෙන දාන්‍ය වල මෙය වැඩෙන්න පුලුවන්, ඇතැම් වෙලාවට එලිමහනෙ තියපු බිස්කට් වල මතුපිටත් හැදිල තියනව මම දැකල තියනව. 100% හදුන ගන්න නම් සරල වර්ණ ගැන්විමකින් පස්සේ ආලෝක අන්වික්ෂයකින් වත් බලන්න ඕනෙ.

    ඉහත කී ධාන්‍ය වර්ගයක මතුපිට කොල පාටට හුරු කහපාටකින් අතේ ඇලෙන පිටි වගේ දෙයක් තියනව නම් ඒක බොහෝවිට Aspergillus වෙන්න පුලුවන්. නමුත් ඒ හැඩයේම දිලීර වර්ග කිහිපයක් තිබෙනව.

    කොහොම වුනත් මේ දිලීරය මගින් නිකුත් කරන ධුලකයක් තමයි ඇප්ලටොක්සීන් කියන්නෙ.
    ව්‍යාදි වේදින් කියන විදියට මේ ඇප්ලටොක්සින් කියන විසට එරෙහිව ප්‍රතිශක්තිකරන පද්ධතියට කල හැකි දෙයක් නැතිලු. ඒ වුනත් වැඩිහිටියන් යමි පමනකට ඔරොත්තු දෙන බව කියනව.

    කොහොම වුනත් ව්‍යාදිවේදය කියන විශය මා දන්නෙ නැති නිසා ඒ ගැන වැඩිපුර දෙයක් කියන්න බැහැ.ඒ නිසා මේකෙ පරිසර විද්‍යාත්මක සහ විශවේදය(Toxicology) පැතිකඩ පිලිබද විතරක් අපි කතා කරනව.

    සාමාන්‍යයෙන් ඇතැම් දිලීරය හොද්න් වැඩුනු පසුව ඒ වැඩුනු මතුපිටට විශ වර්ග නිකුත් කරනව.එහෙම කරන්නෙ බැක්ටිරියා වර්දනය නතර කරගන්න හො එහෙමත් නැතිනම් බහිස්‍රාවි අපද්‍රව්‍යක් විදියට. මේ විශ ආහාරය සමග අපගේ ශරිරයට ඇතුලු වෙන්න පුලුවන්.

    එවිට එය හානිකර ප්‍රතිඵල ඇති කරනව.නමුත් මේ විශ ද්‍රව්‍යය 20-300 ppb (ආහාරය කොටස් බිලියනයකට විශ කොටස්) මට්ටමට එන තෙක් හානිකර නැහැ කියල කියන්නෙ.
    එතකොට යම් කෙනෙකුට හිතෙන්න පුලුවන් තෙල් කරවෙන්නම රත්කරාම මේ විෂ විනාස වෙනව ඇති කියල. ඒක එහෙම වෙන්නෙ නැහැ. හේතුව පොල්තෙල්වල නටන උෂ්නත්වය Boiling point එක සෙල්සියස් අංශක 204 ක් නමුත් ඇප්ල ටොසින් වල නටන උෂ්නත්වය Boiling point එක සෙල්සියස් 528 ක් වෙනව. කාබනික රසායනිකයක් විනාශ වෙන්න(Deform) වෙන්න Boiling point එකටම එන්න ඕනෙ නැහැ.

    නමුත් මේක Boiling point එකේදිත් ස්තායි කියල තමයි කියන්නෙ. ඒනිසා ඇතැම් අය බුකියෙ කියන විදියට කරපිංච සේර එක්ක තෙම්පරාදු කලා කියල මේ විස යවන්න බැහැ කියලයි මම නම් හිතන්නෙ.
    එහෙම නම් මේ ඇප්ලටොෂින් මිශ්‍රවුනු පොල්තෙල් විනාස කරන්න ක්‍රමයක් නැතිද? නැතිනම් පරිසරයට බැහැර කරන්නෙ කොහොමද?

    රසායනික අපද්‍රව්‍යක් හො විශ ද්‍රව්‍යයක් බැහැර කරන ක්‍රමය තීරනය කරද්දි අපි බලන්න ඕනේ මුලිකවම මේ අනුවේ අංතර්ගත රසායනික සංගටක ගැන.

    කාර්මික රසායනිකයක් නම්( Industrial chemical එකක් නම්) හරි පහසුයි ඒකට තියනව Harmonized System Data Base කියල ජාත්‍යන්තරව පිලිගත් දත්ත පද්දතියක්. ඒකට අදාල රසායනිකයේ HS කෝඩ් එක ඇතුලුකරාම හානිකර මට්ටම සහ අංතර්ගත රසායනික කාංඩ පෙන්වනව.

    එසේ නොවන අපද්‍රව්‍යකදි හෝ මෙවැනි විශ සහිත සංයෝගයක් බැහැර කිරිමේදි CID (compound ID number ) එක හොයල ඒක PUBCHEM කියන ඩේටා බේස් එකට ඇතුලත් කරල තොරතුරු හොයාගන්න පුලුවන්.

    ඒ තොරතුරු අනුව අනුව ව්‍යුහය ගැන සලකන්න ඕනෙ. විශේෂයෙන්ම N, S වගේ අංතර්ගත නම් අඩු උෂ්නත්වයක දහනයේදි විශවායු පරිසරයට නිකුත් වෙන්න පුලුවන්. නමුත් Aflatoxin B අනුවේ ඇරෝමැටික කාබන් වලල්ලකට සම්බන්ද වුනු CH3 කංඩ විතරයි තියෙන්නෙ.

    ඒ නිසා මේ පොල් තෙල් ටික අවශ්‍යනම් කසල පුලුස්සන incinerator එකකට දාල පුලුස්සන්න පුලුවන්. මේ කෙදි අපි රසායනිකයේ flash point එක නැතිනම් වායු බවට පත්වි ගිනි ගන්නා උෂ්නත්වය හොයල එයට වඩා වැඩි උෂ්නත්වයක පුලුස්සනව.

    සාමාන්‍යයේන ලංකාවේ බාවිත කරන කසල දහනය කරන ඉන්සිනරේටරයක සෙල්සියස් අංශක 800 ට ඒහා උෂ්නත්වයක හොද ඔක්ෂිජන් සැපයුම්ක එක්ක පිලිස්සුවන්ම් කිසිදු හානියක් වෙන්නෙ නැහැ. මොකද ඒ උෂ්නත්වයේදි මේ අනුව කාබන් ඩයොක්ෂයිඩ් සහ ජලය වාශ්ප බවට බිදී යනව.

    කපිල මහේෂ් රාජපක්ෂ – පාරිසරික විශේෂඥ

    මතට ලොල් නිලධාරීන් පොලීසියෙන් නෙරපීමේ සුදානමක්

    0
    Police

    මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිටින පොලිස් නිලධාරීන් හදුනා ගනිමින් ඒ අය පොලිස් සේවයයෙන් නෙරපීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

    මේ වන විට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පොලිස් නිලධාරීන් 500 කට ආසන්න පිරිසක් හදුනාගෙන ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සදහන් කළේය.

    ඛේට මගින් භාවිතා කර ඇති මත්ද්‍රව්‍ය හදුනා ගැනීමේ උපකරණ පොලීසියට ලබා ගැනීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බවත් ඒ ඔස්සේ ඉදිරියේදී පොලිස් නිලධාරීන් අහඹු පරීක්ෂාවන්ට ලක් කෙරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

    පළාත් සභා මැතිවරණය අලුත් පනතෙන් පසු

    0

    පළාත් සභා මැතිවරණය පළාත් සභා මැතිවරණ නව පනත සම්මත කරගැනීමෙන් පසුව පැවැත්වීමට රජයේ අවධානය යොමු වී ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(30) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ හමුවේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසුමකට පිළිතුරු වශයෙන්
    අමාත්‍යවරයා මේ බව පැවසීය.

    කෙසේවෙතත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්මත කිරීම කල් යාම හේතුවෙන් මේ වන තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නිශ්චිත දිනයක් තීරණය කර නොමැති බවත්, පළාත් සභා නීතිය වෙනස් කිරීමට කැබිනට් සාකච්ඡාවල වැඩි ඉඩක් වෙන් වී තිබූ බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    පළාත් සභා පනතට අනුව සියයට 70 ක් කොට්ඨාස ක්‍රමයටත් සියයට 30ක් සමානුපාතික ක්‍රමයටත් සභිකයින් තෝරා පත්කර ගැනීමටත් වන යෝජනාවට අමාත්‍ය මණ්ඩලය සිය එකඟතාව පළකළ බවත්, එසේ වුවද එක් කොට්ඨාසයකින් එකම පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙකු පත්කර ගැනීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ කිහිපදෙනෙකු සිය විරෝධය පළකළ බවත්,අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

    ප්ලාස්ටික් පොලිතින් වර්ග කීපයක් හෙට සිට තහනම්

    0

    ප්ලාස්ටික්‌ හා පොලිතීන්‌ ආශ්‍රිත නිෂ්පාදන වර්ග 04ක්‌ හෙට (31) දිනයේ සිට මෙරට භාවිතය තහනම්‌ කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    නිවේදනයක්‌ නිකුත්‌ කරමින්‌ එම අමාත්‍යාංශය සඳහන්‌ කරන්නේ එක්වරක්‌ පමණක්‌ භාවිත කර ඉවත දමන පොලිතීන්‌ හා ප්ලාස්ටික්‌, පෙට්‌ බෝතල්‌,
    මයික්‍රෝන 20ට අඩු ලන්ච්‌ සීට්‌, සැෂේ පැකට්‌ (ආහාර හා ඖෂධ නොවන) , කොට්න්‌ බඩ්‌ හා සුළං පුරවන ලද ප්ලාස්ටික්‌ සෙල්ලම්‌ භාණ්ඩ ද ඊට අයත්‌ වේ.

    පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා
    මේ සම්බන්ධව ඊයේ (29) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක්‌ අමතමින්‌ කියා සිටියේ, ඉහත සඳහන්‌ කළ ප්ලාස්ටික්‌ හා පොලිතීන්‌ නිෂ්පාදන මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය කිරීම
    හෙට (31) සිට තහනම්‌ කර ඇති බවය.

    සමාගම්‌ කිහිපයක්‌ විසින්‌ කරන ලද ඉල්ලීම්‌ සළකා බලමින්‌ දැනට නිපදවා අවසන්‌ කර ඇති අදාළ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා මාස තුනක්‌ වැනි කෙටි
    කාලයක්‌ ලබා දෙන බව ද අවධාරණය කර ඇත.

    අමාත්‍යවරයා එම නිෂ්පාදන අපනයනය සඳහා කිසිදු බාධාවක්‌ පනවා නොමැති බව ද අවධාරණය කර සිටියේය.

    සියලු කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථානවල ආරක්ෂාව තර කෙරේ

    0

    එළඹෙන මහා සිකුරාදා සිට පාස්කු ඉරිදා දක්වා සියළුම කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථානවල ආරක්ෂාව තර කිරීමට විශේෂ ආර‍ක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

    දේවස්ථාන ආශ්‍රිත ප්‍රදේශවල සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධි අංශ නිලධාරීන්ද යෙදවෙන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

    දේවස්ථාන ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන දැනුවත් කරමින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාද මේ වන විට විශේෂ පොලිස් නියෝගයක් දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම යොමුකර තිබේ. ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායද ආරක්ෂාවට යෙදවෙන බව සදහන්ය.

    සංවිධාත්මක පිරිසක් නකල්ස් විනාශයක් ගැනත් මතයක් ඇතිකිරීමේ සූදානමක්

    0

    ලෝක උරුමයක් වන නකල්ස් වනාන්තර ආශ්‍රිතවත් දැවැන්ත වන විනාශයක් සිදුවන බවට සමාජ මතයක් ගොඩ නැගීමට සංවිධානාත්මක කණ්ඩායමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති බව නකල්ස් වනාන්තරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන පරිසර සංවිධාන සදහන් කරයි.

    සංවේදී පරිසර කලාපයක් වන නකල්ස් ආශ්‍රිතව පරිසර විනාශයක් සිදුවන්නේ නම් ඊට එරෙහිව මුලින්ම හඩ නගන්නේ තමන් බවද එම සංවිධාන විසින් අවධාරණය කරයි.

    නකල්ස් වනාත්තරය ආශ්‍රිතව වන පරිසර හානියක් සිදුවන බවට මේ වන විට ගොඩ නැගෙමින් ඇති සමාජ මතයක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මාතලේ ගැෆෙක් ශ්‍රී ලංකා පරිසර සංවිධාන කාර්යාලයේ පරිසර සංවිධාන කිහිපයක් ඉකුත් 28 වෙනිදා මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි.

    එහිදී ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ සභාපති සුරන්ජිත් කොඩිතුවක්කු මහතා සදහන් කරනු ලැබුවේ මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක දෙක තුළ ව්‍යාප්තව පවතින නකල්ස් වනාන්තරය සිය සංවිධානය විසින් ආරක්ෂා කරන්නට මැදිහත්ව සිටින්නේ වසර ගණනාවක් තිස්සේ බවය. මීමුරේ, ලකේගල, රණමුරේ ආදී ප්‍රදේශවලට ආවේණික පරිසරක් පවතින බවත් එම පරිසර පද්ධතියේ ජීවත්වනජනතාවගේ යහපත ගැනත් සොයා බැලිය යුතු බවත් සුරන්ජිත් කොඩිතුවක්කු මහතා සදහන් කළේය. ජනතාවගේ සමාජ ආර්ථික දියුණුව සදහා වැඩ කල යුතු බවත් මේ වන විට තිරසාර සංවර්ධන කටයුතු සිදුවෙමින් ඇති බවත් ඔහු පවසයි.

    තවත් පරිසර සංවිධානයක් වන නිර්මාණි පදනමේ අධ්‍යක්ෂ නිමල් හේවාතිලක මහතා පෙන්වා දෙන්නේ දේශිය හෙළ පරම්පරාවකට උරුමකම් කියන නකල් වන පෙත අවට ජීවත්වන ජනතාව මෙම පරිසර පද්ධතිය විනාශ කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවයි. ඒ අය මෙම පරිසර පද්ධතිය ආරක්ෂාකර ගන්නා බවද ඔහු පවසයි.

    ගැෆෙක් ශ්‍රී ලංකා පරිසර සංවිධානයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස මහතා සදහන් කරන්නේ මෙම පරිසර පද්ධතිය නැරඹීමට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙන බවය. 2010 වසරේ ලෝක උරුමයක් ලෙස යුනිස්කෝ සංවිධානය මෙම පරිසර පද්ධතිය නම් කිරීමත් සමග ලෝකයේම අවධානයට මෙය ලක්ව තිබෙන බවද ඔහු පවසයි. 2018 වසරේදී පමණ 70000 කට වැඩි සංචාරකයින් පිරිසක් මෙම වන පෙවතේ සිරි නරඹන්නටත් සතා සිව්පාවන් දකින්නටත් පැමිණ ඇතැයිද ගාමිණී ජයතිස්ස මහතා සදහන් කළේය.

    එසේ පැමිණෙන සංචාරකයින්ගේ පහසුකම් සදහා පරිසර හිතකාමී ලෙස ඉදිකිරීම් කල යුතුව ඇතැයි ද ඔහු වැඩිදුරයත් පැවැසීය.

    රිය අනතුරුවල සීඝ්‍ර ඉහළයාමක්

    0
    Car crash accident on street with damaged automobiles after collision

    මේ වන විට රට තුළ රිය අනතුරුවල ශීඝ්‍රඉහළ යාමක් දක්නට ඇතැයි රථවාහන පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කරයි.

    මෙම වසරේ ජනවාරි 01 සිට මාර්තු 29 වෙනිදා දක්වා ර්කාිලය තුළ පමණක් දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 540 දෙනෙක් මිය ගොස් ඇත.

    මේ කාලය තුළ රිය අනතුරුවලින් වැඩියෙන්ම මියගොස් ඇත්තේ යතුරුපැදිකරුවන් සහ පදිකයින් බව පොලිස් රථවාහන අංශයේ සංඛ්‍යා දත්ත පිළිබිඹු කරයි.

    ඉදිරි උත්සව සමයේදී අනතුරුවල ඉහළ යාමක් සිදුවනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිටිමින් රිය ධාවනය කළ යුතුව ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

    ජනපති පළමු වසරේදීම ලේකම් කාර්‍යලයේ වියදම් බිලියන 1.7කින් අඩු කරලා

    0

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය පළමු ධූර කාලය තුළ ජනාධීපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය බිලියන 1.7 කින් අඩුකර ඇතැයි කෘෂි කර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරයි.

    මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයේ සිටි 2019 වසරේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය රුපියල් බිලියන 3.02 ක් වන බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්වූ පළමු වසර වන 2020 දී ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම් ලෙස සැලකෙන්නේ රුපියල් බිලියන 1.2 ක් වන බවද ඔහු කීය.

    මෙවන් ඉතිරියක් කරන්නට හැකියාව ලැබී ඇත්තේ අනවශ්‍ය වියදම් කපා හැරීම හේතුවෙන් බවත් ගෙවී ගිය වසර එකහාමාර තුළ ගෝඨාභය ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර සදහා වියදම වන්නේ රුපියල් ලක්ෂ 32 ක් පමණක් බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    රටවල් ගණනකින් ත්‍රස්ත චෝදනා එල්ල වූ තාලිබ් පවුලේ පුතකුට ඕස්ට්‍රේලියානු උසාවියකින් දුන් තීන්දුව

    0

    ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් පදනම් වූ ප්‍රකට තාලිබ් ඇන්ඩ් සන්ස් මැණික් ව්‍යාපාරය හිමි තාලිබ් පවුලේ එක් පුතකු වන, අහමඩ් ලුක්මන් තාලිබ්ට ඇප ලබාදීමට එරට ක්වීන්ස්ලන්ඩ් උසාවිය ප්‍රතික්ෂේප කර තිබේ.

    මෙල්බර්න් හි ඊසානදිග ඩොන්කැස්ටර් නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අහමඩ් ලූක්මන් තාලිබ් ත‍්‍රස්තවාදයට ආධාර අනුබල දීමේ චෝදනා මත වික්ටෝරියා ප්‍රාන්තයෙන් පිටුවහල් කර තිබුණි. පිටුවහල් කරන ලද අහමඩ් බ්‍රිස්බේන් වෙත පැමිණ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ඇප ඉල්ලුම් කරන ලදී.

    පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජනපදය අහමඩ් ලූක්මන් තාලිබ් ත‍්‍රස්තවාදීන්ට මූල්‍ය සපයන්නකු ලෙස නම් කළේය. ඔහු තම මැණික් ව්‍යාපාරය ඔස්සේ අන්තවාදී ත්‍රස්තවාදීන්ට ලොව පුරා අරමුදල් ගෙනයාමට යොදා ගත් බවට ද චෝදනා කළේය.

    2013 සැප්තැම්බර් 1 සිට 2020 ඔක්තෝබර් 1 දක්වා කාලය තුළ ත්‍රස්ත ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා හිටපු ක්වීන්ස්ලන්ත ජාතිකයෙකුට තුර්කියට ගොස් ඕස්ට්‍රේලියානු සටන්කරුවෙකු ලෙස සිරියාවට ඇතුළු වී රජයේ හමුදාවන්ට එරෙහිව ආයුධ අතට ගැනීමට උදව් කළ බවට අහමඩ් ලුක්මන් තාලිබ්ට එරෙහිව ඇති චෝදනාවය.

    අහමඩ් ලුක්මන් තාලිබ්

    අහමඩ් බ්‍රිතාන්‍යයේ උපත ලැබූවෙක් වන අතර, වයස අවුරුදු හතර වන විට ඕස්ට්‍රේලියාවට ගියේය. ඔහුගේ පියා ජෛව සංඛ්‍යාන මහාචාර්යවරයෙක් වන ලුක්මන් තාලිබ් නමැති 58 වියැති අයෙකි. ඔහු මැණික් ව්‍යාපාරයක් වන තාලිබ් ඇන්ඩ් සන්ස් පවත්වාගෙන යයි.

    අහමඩ් ලුක්මන් තාලිබ් මහතා 2012 දී ගෝල්ඩ් කෝස්ට් හි බොන්ඩ් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා උපාධියක් සම්පූර්ණ කළේය. අහමඩ් තාලිබ් මහතා දරුවන් 8 දෙනෙකුගේ පියෙකි.

    කෙසේවෙතත් තාලිබ් මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද අතර, එම නඩුව බ්‍රිස්බේන් මහේස්ත්‍රාත් අධිකරණයේ දී කල් තබන ලදී.

    මේ අතර ඕස්ට්‍රේලියාවේ කොරෝනා කාර්ය සාධක බලකායේ අංශයක සේවය කළ ඕස්ට්‍රේලියානු ජෛව සංඛ්‍යාන මහාචාර්යවරයකු වූ ලුක්මන් තාලිබ් සහ ඔහුගේ තවත් පුත්‍රයකු වන ඉස්මයිල් තාලිබ් මාස පහකට ආසන්න කාලයක් කටාර්හි රහසිගත ස්ථානයක රඳවා තබාගෙන මේ වසරේ ජනවාරි මාසයේදී නිදහස් කර තිබුණි.

    මහාචාර්ය ලූක්මන් තාලිබ් (58) සහ ඔහුගේ පුත් ඉස්මයිල් තාලිබ් (24) 2020 ජූලි මාසයේදී දෝහාහි පිහිටි ඔවුන්ගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබීය.

    පුතකු වන ඉස්මයිල් ලුක්මන් තාලිබ් සහ පියා වන මහාචාර්ය ලුක්මන් තාලිබ්

    ඔවුන් අත්අඩංගුවට ගෙන මාස තුනකට පසු, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඕස්ට්‍රේලියාවේ වෙසෙන තවත් පුතෙකු අල් කයිඩාවේ “මූල්‍ය පහසුකම් සපයන්නෙකු” ලෙස නම් කළේය.

    මහාචාර්යවරයකු වන ලුක්මන් තාලිබ් 1986 සිට ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වේ. ඔහු එක්සත් රාජධානියේ ශාස්ත්‍රපති උපාධිය සහ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය. ඔහු විද්‍යාත්මක අධ්‍යයනයන්ට සම්බන්ධ වී ඇති අතර ඕස්ට්‍රේලියාව, ජපානය, සවුදි අරාබිය, කුවේට්, ඇමරිකා එක්සත් ජනපදය සහ ස්වීඩනය ඇතුළු බොහෝ රටවල සිය අධ්‍යාපන කටයුතු කරගෙන ගියේය. සුප්‍රකට මැණික් ව්‍යාපාරය ඔවුන් ඕස්ට්‍රේලියාව පදනම් කරගනිමින් සිදුකරන බව පැවසේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිශන් වාර්තාව මගින් සැකකරුවකු ලෙස මහාචාර්ය ලුක්මන් තාලිබ් ද නම් කර තිබේ.

    මහාචාර්ය තාලිබ් 2015 සිට කටාර් හි වාසය කර ඇති අතර එහි වසංගත ප්‍රතිචාරය සම්බන්ධයෙන් එහි ප්‍රමුඛ මහජන සෞඛ්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.

    දරුවන් සිව් දෙනෙකුගේ පියා වන ඔහු කටාර් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විය.

    ඔහු අත්අඩංගුවට ගැනීම ගැන ඔහුගේ පවුලේ අය මුලින්ම දැන සිටියේ සැප්තැම්බර් මාසයේදී ඔහුගෙන් ඇමතුමක් ලැබුණු විටය. ඔහුට සතිපතා ඇමතුම් දෙකක් ලබා ගැනීමට අවසර දී තිබූ බව පවුලේ අය පවසා තිබේ.

    ඕස්ට්‍රේලියානු රජය ඔවුන්ට කොන්සියුලර් ආධාර සපයන අතර පළමු වරට ඔහුව බැලීමට පසුගිය මාසයේ හැකි විය.

    ඔහුගේ පුත් ඉස්මයිල් රඳවා තබා ගැනීමට පෙර වසර තුනක් කටාර්හි ආරක්ෂක ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කර ඇත.

    මහාචාර්ය තාලිබ්ගේ දියණිය වන මරියම් ලූක්මන් තාලිබ් ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටියේ ඔවුන්ට තවත් ආධාර ලබා දෙන ලෙසයි.

    මහාචාර්ය තාලිබ් එක්සත් රාජධානියේ සිය ශාස්ත්‍රපති උපාධිය සහ ආචාර්ය උපාධිය සම්පූර්ණ කර ඇති අතර වසර 30 ක සිය වෘත්තීය ජීවිතය තුළ ජාත්‍යන්තර පර්යේෂණ ව්‍යාපෘති 400 කට වැඩි ගණනකට සම්බන්ධ වී ඇත.

    ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජනපදය අහමඩ් ලූක්මන් තාලිබ් ත‍්‍රස්තවාදීන්ට මූල්‍ය සපයන්නකු ලෙස නම් කළේය. ඔහු තම මැණික් සමාගම ලොව පුරා අරමුදල් ගෙනයාමට යොදා ගත් බවට ද චෝදනා කළේය.

    “තාලිබ් රටවල් ගණනාවක මූල්‍ය ගනුදෙනු කර ඇති අතර මැණික් සම්බන්ධව ඔහු කළ ව්‍යාපාරය අල් කයිඩාවේ ප්‍රයෝජනය සඳහා ජාත්‍යන්තරව අරමුදල් ගෙනයාමේ හැකියාව ලබා දී තිබේ” යැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

    තාලිබ් පවුලේ සාමාජිකයන් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පුරවැසියන් ය.

    එම නිවේදනයෙන් පසු ඔහුගේ නිවස ඕස්ට්‍රේලියාවේ පොලිසිය විසින් වටලා ඇත. කටාර් බලා යාමට පෙර මෙම පවුල බ්‍රිස්බේන් හි ජීවත් විය.

    ශ්‍රී ලංගම කොන්ත්‍රාත් සේවකයන්ට ස්ථීර පත්වීම්

    0

    ශ්‍රී ලංගම කොන්ත්‍රාත් පදනම මත සිටින වසර 5ට වැඩි පළපුරුද්ද සහිත සියළු සේවකයන් ස්ථිර කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේ පැවති ප්‍රවාහන අමාත්‍යංශ උපදේශක කාරක සභාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පවතින රියදුරු සහ කොදොස්තරවරුන්ගේ පුරප්පාඩු සඳහා අඩු ආදායම්ලාභීන් තුළින් තෝරා ගනිමින් සුදුසුකම් ලත් පුද්ගලයන් හැකි ඉක්මනින් බඳවා ගැනීමට ද නියමිත බව දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

    රියදුරු උපදේශක පුරප්පාඩු සම්පූර්ණ කිරිමේ විභාගය එළඹෙන මැයි මාසයේ දී පැවැත්වෙයි.

    වඩා කාර්යක්ෂම මගී බස් රථ සේවාවක් වෙනුවෙන් රට පුරා ඇති උප ඩිපෝ බස් රථගාල් ලෙස පමණක් භාවිත කිරීමටත් ඒවායේ පරිපාලන කටයුතු ප්‍රධාන ඩිපෝ මගින් පමණක් මෙහෙයවීමටත් නියමිත බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.