fbpx
තවත්
    මුල් පිටුවCOVIDසංචරණ සීමා අස්සේ කඩුවෙල හෝටලයක තවත් මගුලක්

    සංචරණ සීමා අස්සේ කඩුවෙල හෝටලයක තවත් මගුලක්

    සංචරණ නීති හා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කඩුවෙල කොරතොට පිහිටි ප්‍රසිද්ධ හෝටලයක අද (28) පැවැති විවහා උත්සවයක් නවගමුව පොලීසියේ නිලධාරීන් විසින් මැදිහත්වීමෙන් නතරකර තිබේ.

    මනමාලිය විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ දියණියකි. ඇය බැංකුවක රැකියාවක නිරතව සිටින තැනැත්තියකි. මනමාලයා අවිස්සාවේල්ලේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙක් ලෙස සේවයේ නිරතව සිටින්නෙකි.

    මෙම විවහා මංගල්‍ය ගැන නවගමුව පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් හෝටලයට යන විට මනමාල යුවල පෝරුවට ගොඩවී පෝරුවේ චාරිත්‍ර ඉටුකරමින් සිට ඇත. පොලීසිය ඊට බාධා නොකර චාරිත්‍ර අවසන් වන තුරු බලා සිට ඇත. අනතුරුව මනමාල යුවල පෝරුවෙන් බස්සවා ඇත්තේ පොලිස් නිලධාරීන්ය.

    ඒ වන විට දෙපාර්ශවයේම ඥාති මිත්‍රාදීන් 42 දෙදෙනෙක් එහි රැදී සිට ඇති බව පොලීසිය කියයි. මනමාල යුවල ඇතුළුව ඒ සියළු දෙනා නිරෝධායනය කිරීමට පියවර ගත්බවත් ඔවුන්ට එරෙහිව නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නඩු පැවරීමට පියවර ගන්නා බවත් පොලීසිය කියයි. මෙම විවහා මංගල උත්සවයට 100 කට වැඩි පිරිසකට ආරාධනා කර ඇති බවත් පොලීසිය එම ස්ථානය වැටලීමට ලක්කරන විටත් එම ආරාධිතයන් පැමිණෙමින් තිබී ඇති බවත් සදහන්ය.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් විවහාමංගල්‍යක් පැවැත්වීමට ඉඩලබාදීම හේතුවෙන් අදාල හෝටලයට මුද්‍රා තැබූ බවත් හෝටලයේ කළමනාකාරිත්වයට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවත් පොලීසිය කියයි.

    මෙයට පෙර වෙන්නප්පුවේ නිවසකට සංචරණ සීමා පැවතියදී විවහා මංගල්‍යයක් පවත්වමින් තිබියදී පොලීසිය එය නතර කිරීමට පියවර ගත්තේය. එම විවහා මංගල්‍යට ජා-ඇල ප්‍රදේශයේ සිට ද පිරිසක් පැමිණ සිටි අතර ඒ අය අතර ජා- ඇල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාද සිටියේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.