fbpx
තවත්
    මුල් පිටුවGOSSIPආරක්ෂක ලේකම්ගෙන් අලුත් ගීත දෙකක්

    ආරක්ෂක ලේකම්ගෙන් අලුත් ගීත දෙකක්

    ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ නවතම ගීත නිර්මාණ දෙකක් හෙට(27) ජනගත කිරීමට නියමිතය.

    ඔහු විසින් රචිත ‘නොපෙනෙනා රුව’ සහ ‘ඇහේ කඳුළැලි’ ගීත මෙලෙස ජනගත කෙරෙන අතර ජෙනරාල් කමල් ගුණරත්න යන යූටියුබ් චැනලය මගින් එම ගීත රසවිඳීමේ අවස්ථාව ඔබට උදාවනු ඇත.

    ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් පද රචනය කරන ලද “ඇහේ කඳුළැලි” ගීතය, නව පරපුරේ දක්ෂ සංගීතඥයකු වන යසස් මැදගෙදර මහතා විසින් සංගීතවත් කොට ජනප්‍රිය ගායිකා, විශාරද අභිෂේකා විමලවීර මහත්මිය විසින් ගායනා කරනු ලබයි.

    ‘නොපෙනෙනා රුව’ ගීතය ද කමල් ගුණරත්න මහතාගේ පද රචනයක් වන අතර රිද්ම වීරවර්ධන සහ සාගරිකාා සුගතපාලගේ හඬ මුසුවෙන් ද ජනප්‍රිය සංගීතඥ තිළිණ බොරලැස්ස මහතාගේ සංගීතයෙන් ද නිර්මාණය වී තිබේ. ඒ සඳහා අපූරු රූප රචනයක් නිර්මාණය කර ඇත්තේ සහන් වික්‍රමාරච්චි මහතාගේ අධ්‍යක්ෂණයෙනි.

    ආරක්ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා

    කමල් ගුණරත්න මහතා විසින් රචිත “තාරා ගේ ආගමනය” හා “කඩොල් ඇත්තු” (පරිවර්තන) නව කතා ද්විත්වය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පසුගියදා (06) පැවැත්වුණු අතර එහිදී “ ඇහේ කඳුළැලි” ගීතයේ පූර්ව එළිදැක්වීම සිදුවිය.

    මෙරට දශක 3කට අධික කාලයක් පුරා පැවති ගැටුම් නිමාකිරීමේ මානුෂීය මෙහෙවරට උරදුන් නායකයකු වූ විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා, ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්හි නිලධරයකුට ලැබිය හැකි ඉහළම සම්මාන කිහිපයකින් පිදුම් ලද්දකු වන අතර, පාකිස්ථාන රජයේ ද ඉහළම සම්මාන ඇගයීමකට ලක්වූ ශ්‍රේෂ්ඨ නිලධාරියෙකි.

    විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා වසර 34ක පමණ සිය හමුදා ජීවි‍තයේ අත්දැකීම් අළලා ග්‍රන්ථ ගණනාවක් මෙන්ම ගීත ගණනාවක් ද රචනා කර ඇත. සාමාන්‍ය වැසියකු දුටු නොදුටු පැති ගණනාවකින් තම නිර්මාණ අපූර්වතම ආකාරයට ප්‍රේක්ෂකයාට, පාඨකයාට ග්‍රහණය කරවීමේ සුවිශේෂී නිර්මාණ හැකියාවක් ඔහු සතු ය.

    පාතාලයෝ, උත්තරා දේවි, කඩොල් ඇත්තු, රණමඟ ඔස්සේ නන්දිිකඩාල් යනාදි ග්‍රන්ථ කමල් ගුණරත්න මහතාගේ ලේඛක දිවියේ මං සලකුණු සටහන් කරන ග්‍රන්ථ නිර්මාණ විය.

    එමෙන්ම ලොවීනා, හැමදාම මගේ වෙන්න, හදවතේ ගීතය, හිරි පොදට, මා වෙත එන්න, යුධ ගිනි දුමාරය සහ සෙබළ පුතු යන ගීත නිර්මාණවලින් ඔහුගේ කාව්‍ය රචනයේ ඇති නිපුණත්වය ද මනාව පෙන්වූ සුන්දර ගීත නිර්මාණයන් ය.

    හෙට පස්වරු 6ට ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ යූටියුබ් නාළිකාව ඔස්සේ මෙම ගීත රසවිඳීමට හැකි ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.