fbpx
තවත්
    මුල් පිටුවspecialසකර්ගේ Threadsට මස්ක්ගේ Twitter වෙතින් තර්ජනයක්

    සකර්ගේ Threadsට මස්ක්ගේ Twitter වෙතින් තර්ජනයක්

    ට්විටර් සමාජ ජාලයේ නව ප්‍රතිවාදියා වන ත්‍රෙඩ්ස් (Threads) සමාජ ජාලය ඊයේ හඳුන්වාදීමත් සමඟ මෙටා සමාගමට නඩු පවරන බවට ට්විටර් හිමිකාර එලෝන් මස්ක් තර්ජනය කර තිබේ.

    හිටපු ට්විටර් සේවකයින් බඳවා ගැනීම හරහා එම සමාගමේ වෙළඳ රහස් සොරකම් කළ බවට, ට්විටර් නියෝජනය කරන නීතීඥයෙකු මෙටා හි ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් වෙත ලිපියක් යවමින් චෝදනා කර ඇත.

    නව ත්‍රෙඩ්ස් සමාජ ජාලය ට්විටර් යෙදුමට තරඟකාරී තර්ජනයක් ලෙස සලකන බවට මෙම තත්ත්වය තුළින් පැහැදිලි වන බව විදෙස් වාර්තාවල දැක්වේ.

    ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් ආදි සමාජ ජාලයන්හි මව් සමාගම වන Meta විසින් ඊයේ අලුතින් හඳුන්වාදුන් Threads යෙදුම සඳහා එහි පළමු දිනයේදීම මිලියන 30ක පරිශීලකයින් ලියාපදිංචි වී තිබේ.

    මේටා සමාගමට අනුව, Apple’s iOS සහ Android මෙහෙයුම් පද්ධති සහිත ස්මාර්ට් දුරකතන, ටැබ්, පරිගණක ආදි සන්නිවේදන උපකරණ හරහා ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 100ක සහ භාෂා 30කට වඩා වැඩි සංඛ්‍යාවක් ඔස්සේ ත්‍රේඩ්ස් ඇප් එක භාවිත කළ හැකිය.

    ෆේස්බුක් නිර්මාතෘ, මේටා සමාගමේ ප්‍රධානි මාර්ක් සකර්බර්ග් පවසන්නේ ‍ට්විටර්, ත්‍රෙඩ්ස්හි ‘මිත්‍රශීලී’ ප්‍රතිවාදියෙකු බවයි.

    පරිශීලකයන් ඇතැමුන් පවසන්නේ නව ත්‍රෙඩ්ස් ‘ට්විටර් ඝාතකයා’ විය හැකි බවයි.

    ට්විටර් සමාජ ජාලය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එලොන් මස්ක් විසින් මිලදී ගන්නා ලදී.

    ක්ෂේත්‍රයේ විශේෂඥයන් පවසන්නේ මෑතකාලීන වෙනස්කම් ගැන කනගාටුවට පත් ට්විටර් පරිශීලකයින් ත්‍රෙඩ්ස් විසින් වේගයෙන් ආකර්ෂණය කර ගනු ඇති බවයි.

    Verified Accounts සඳහා මුදල් අයකිරීම, පළකිරීම් සීමා කිරීම, දිනකට බැලිය හැකි පෝස්ට් සංඛ්‍යාව ද සීමා කිරීමට ට්විටර් කටයුතු කරන ලද්දේ එලෝන් මස්ක් එය මිලදී ගැනීමෙන් පසුවයි.

    කෙසේනමුත් Twitter ප්‍රධාන විධායක නිලධාරී ලින්ඩා යකා‍රිනෝ පැවසුවේ ට්විටර් ‘බොහෝවිට අනුකරණය කළ හැකි’ නමුත් එය ‘කවදාවත් අනුපිටපත් කළ නොහැකි’ බවයි.

    ත්‍රෙඩ්ස් මඟින් පරිශීලකයින්ට එක් පළකිරීමකදී අක්ෂර 500ක් දක්වා ඉඩ ලබා දේ. එමෙන්ම Twitter හා සමාන බොහෝ විශේෂාංග එහි පවතී.

    මේටා ප්‍රධානී මාර්ක් සකර්බර්ග් මීට පෙර පවසා තිබුණේ සිය සමාජ ජාල වේදිකාව ‘මිත්‍රශීලීව තබා ගැනීම… අවසානයේ එහි සාර්ථකත්වයට යතුර වනු ඇති’ බවයි.

    ට්විටර් යනු කෙටි සටහනක්, වචන පෙළක්, යනාදි පළකිරීම් මත පදනම් වී ඇති, වේගවත් මුදාහැරීමක් ප්‍රකාශ කිරීම සඳහා පරිපූර්ණ ලෙස සකස් කර ඇති සමාජ ජාලයකි.

    බොහෝ විට දේශපාලඥයින්, මාධ්‍යවේදීන්, විධායකයින් සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ට එය අතිශයින්ම එය ප්‍රයෝජනවත් සමාජ ජාල වේදිකාවකි.

    ලොව පුරා මිලියන 450ක් දැනට ට්විටර් සමාජ ජාලය භාවිත කරති.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.