fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොදු අපේක්ෂකයා කවුද?

    පොදු අපේක්ෂකයා කවුද?

    කණ්නාඩියාගේ වැකිය

    පැවැත්වීමට නියමිතව ඇත්තේ නම් පළාත් පාලන මැතිවරණයයි. පැවැත්වීමට තිබුණේ පළාත් සභා මැතිවරණයයි. ඒ දෙකම දැම්ම පවත්වන බවක් පෙනෙන්නට නැත. මේ මැතිවරණ පවත්වන්නට ආණ්ඩුවේ උත්සාහයක් ඇති බවක් පෙනෙන්ට ද නැත. එහෙත් ආණ්ඩුව අභ්‍යන්තරයෙත්, සමාජයේත් කතාබහට ලක්වන්නේ ජනාධිපතිවරණයක් ගැනය. ඒ අතරදී පොදු අපේක්ෂකයන් ගැන කතාබහක් සීතල දිය දහරක් මෙන් සතර අත ගලා බසී.

    දේශපාලන ආරංවි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයකට සූදානම් වන බවයි. එ.ජා.ප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ද පසුගියදා කියාසිටියේ ලබන වසරේ මාර්තු මාසය වනවිට ජනාධිපතිවරයා, ජනාධිපතිවරණයක් කැඳවනු ඇති බවයි. ඒ අනුව සිතන විට පළමුව ජනාධිපතිවරණය පවත්වා, දෙවනුව මහා මැතිවරණයක් පැවැත්වේ. අනතුරුව පළාත් පාලන මැතිවරණය හා පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇතැයි උපකල්පනය කළ හැකිය.

    මෙම ජනාධිපතිවරණ කතාබහ සමඟම පොදු අපේක්ෂකයන් පිළිබඳවද සමාජයේ යළි කතා බහක් ඇතිව තිබේ. සමගි ජන බලවේගය පක්ෂය දැනටමත් විපක්ෂනායක, සජිත් ප්‍රේමදාස තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කර තිබේ. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව පිහිටුවනු ලැබූ ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අනුර කුමාර දිසානායකය. මේ අතරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක, නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ද ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවට දැනටමත් ප්‍රකාශ කර තිබේ.

     

    පසුගියදා පිහිටුවනු ලැබූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ද නව පෙරමුණක් පිහිටුවාගෙන ඉදිරියට එන්නේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන විය යුතුය. ඒ අතරට තවමත් හරි හමන් ගමනාන්තයක් පෙනෙන්නට නැති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු කණ්ඩායමද ඒ පෝලිමේ සිටිති. මේ සියල්ලන්ගේම එකම අරමුණ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමය. නැතහොත් වැඩි විශ්වාසයක් දිනාගත හැකි අයකු පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමය.

    මේ අතරට තවත් කණ්ඩායම් දෙකක් පොදු අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට උත්සුක වන බවක් පෙනෙන්නට ඇත. ඒ කණ්ඩායම් දෙක වන්නේ ආණ්ඩුවෙන් වෙන්ව දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු උත්තර ලංකා සභාගයත්, ඩලස් අලහප්පෙරුම ඇතුළු නිදහස ජනතා සභාවත්ය. මේ කණ්ඩායම් දෙකම තවමත් මේ ගැන අබමල් රොණක තරම්වත් දෙයක් කියා නැත. එහෙත් තැනින් තැන සතරකන් මන්ත්‍රණ පවත්වති.

    ඩලස් පිල නියෝජනය කරන නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමක් පසුගියදා මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසට රැස්වී මේ ගැන සාකච්ඡා කළහ. එම සාකච්ඡාවට ඩලස් අලහප්පෙරුම සහභාගී නොවුණේ ඔහු ඒ දින කිහිපයේ එංගලන්තයේ සංචාරයක නිරතවූ බැවිනි. ස්ථීර තීරණයකට එළඹීමට නොහැකිවුවත් එහිදී ඉතා දීර්ඝව සාකච්ඡාවී තිබෙන්නේ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස මහාචාර්ය ජී.එල් පීරිස් ඉදිරිපත් කිරීම ගැනය.

    දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ සම්බන්ධයෙන් නිදහස ජනතා සභාව ස.ජ.බ සමඟද නොනිල මට්ටමින් සාකච්ඡා ආරම්භ කර තිබේ. චරිතලා, ගොඩහේවාලා ජි.එල්ගෙ නිවසේ සජිත් සමඟ සාකච්ඡා කළ ද එම සාකච්ඡාවේ නිල තොරතුරක් එළියට ආවේ නැත. ජී.එල් පොදු අපේක්ෂකයා කොට ජනපති ජී එල් අගමැති බලතල සහිත පාර්ලිමේන්තුවකින් සජිත්ට බලය දීම එම සාකච්ඡාවේ නිමිත්තයි.

    උත්තර ලංකා සභාගයේ නායක විමල් වීරවංශ පොදු අපේක්ෂකයා වන බව මෙතෙක් ඉඟි නොකළ ද ඔහුත් ජනාධිපති අපේක්ෂකයකු ලෙස කරළියට ඒමට ඉඩ ඇත. එසේ නොමැති වුවහොත් ඔවුන් මහාචාර්ය ජී.එල් පීරිස් ජනාධිපති අපේක්ෂකයා වුවහොත් ඔහුට සහය පළ කරනු ඇත. ස.ජ.බ සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක වුවහොත් එය ඩලස් පිල ලබන ජයග්‍රහණයකි.

    කෙසේ වෙතත් එම සාකච්ඡාවලදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට ලැබෙන තනතුර සම්බන්ධයෙන් ද ගැඹුරින් සාකච්ඡා වන බවද වාර්තාවේ. එමෙන්ම ජනපතිවරණයට ඉදිරිපත්වන ලෙසට සජිත්ට පක්ෂයෙන්ද දැඩී බලපෑම් එල්ලවන බවද වාර්තවේ.පක්ෂ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු පිරිසක් එහි ඉදිරියෙන්ම සිටිති.

    එමෙන්ම විමල් ඇතුළු කණ්ඩායම සජීත්ට නම්මවා ගැනීමේ මෙහෙයුමක් ද මේ වනවිට ක්‍රියාත්මකය. එම කණ්ඩායම සභාගයක් ලෙස ඉදිරියට පැමිණියොත් උත්තර සභාවට ආශිර්වාද කළ මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයත් ඊට හිමිවනු ඇත.

    ජනතා විමුක්ති පෙරමුණද 2005 වසරේ සිට 2019 දක්වා පැවති ජනාධිපතිවරණ සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කළේ නැත. 2015 ජනාධිපතිවරණ ගැන ජවිපෙ සමාජයට ඍජු අදහසක් ඉදිරිපත් කළේ ද නැත. ඔවුන් කියා සිටියේ මහින්ද රාජපක්ෂ පරජය කළ යුතු බවය. එහෙත් දිනවිය යුතු අපේක්ෂකයා කවුරුන්ද යන්න ඍජුව නොකීවද එහි වාසිය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට හිමි විය. 2019 ජනාධිපතිවරණයට පක්ෂ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් වුවද ඔහු පරාජයට පත්විය.

    ජවිපෙ සටන් පාඨ හා සමාජ යතාර්ථයන් පිළිබඳව දේශපාලන වශයෙන් විසංවාද පවතියි. පැරණි ජනප්‍රිය සටන් පාඨ වෙනුවට අලුත් සටන් පාඨ පිළිබඳ රැල්ලක් නිර්මාණය කිරීමට ජවිපෙ උත්සාහ කරන බව පෙනේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී සිදුවූ සිදුවිම් නිසාවෙන් ජනතා විමුක්ති පෙරමුණ වටා පැවති බලයට වැඩි බලයක් නිර්මාණය වී තිබේ. එසේ වුවද ඇතමුන් එය විග්‍රහ කරන්නේ සියයට තුන සියයට දහයක් තරම්වන තරම් මිස වර්තමානයේ රනිල්ට බලපෑම් කළ හැකි මට්ටමට හෝ ඔවුන් වටා රැල්ලක් ගොඩ නැගී නොමැති බවයි.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය තවමත් හිටපු ජනපති මෛත්‍රී පසු පස හොල්මන් කරයි. එමෙන්ම ඔහුගේ අතීත ක්‍රියාකලාපය අනුව ඔහුටද ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබීම හෝ ජනාධිපතිවරණ ජයක් ලැබීම පිළිබඳ සිහින දැකිමෙන් ඵලක් නැත. පාඨලී චම්පික වටා සිටින පිරිස චම්පික ජනපති අපේක්ෂකයකු ලෙස කරළියට ගෙන ඒමට පිඹුරුපත් සැළසුවද පසුගිය කාලයේ සජබ මන්ත්‍රිවරයකු ලෙස චම්පිකට ජනාධිපති අපේක්ෂකයකු තරම් ලෙස ගම් මට්ටමෙන් නැගී ඒමට ඉඩක් ලැබුණේ නැත. ඒ නිසා නගරය දන්නා චම්පික ගමේ ජනතාව දන්නේ නැත. කොටින්ම චම්පිකගේ මාධ්‍ය මෙහෙයුම්කරු පවා පසුගිය දා රනිල්ගේ ඔඩොක්කුවට වැටුණු නිසා චම්පිකගේ සන්ධානයත් රනිල්ගේ සන්ධානයත් අතර නෑ කමක් ඇති නොවන්නට ඉඩ තිබේදැයි සැකයකි.

    පවතින තත්ත්වය මත පොහොට්ටුවට මෙන්ම එය නියෝජනය කරන මැති ඇමතිවරුන්ටද ජනපති රනිල්ගෙන් තොර අන් මඟක් මේ මොහොතේ දී නැත. ජනපති රනිල්ටද එසේමය. රනිල් නොමැතිව වෙනත් අයකුට සහය පළ කළහොත් තමන්ට ගොඩ ඒමට මඟක් නැතිබව පොහොට්ටුව දනී. පොහොට්ටුව අතහැර තමන්ට ගමනක් නැති බව රනිල් මෙන්ම එ.ජා.පයද දනී. කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණය පොහොට්ටුවට මෙන්ම එ.ජා.පයටද තීරණාත්මක බව නොකියා බැරිය. එහෙත් පෙරලෙන ගලේ පාසි බැඳෙන්නට විදිහක් නැත. එබැවින් මෙවර ජනාධිපතිවරණයේදී පොහොට්ටුව ජනපති රනිල් ඉදිරියේ විකසිත වේද ? මුකුලිත වේ ද ? ජනතාව දනි. ඒ කෙසේ වෙතත් පොහොට්ටුව නොනිල වශයෙන් ජනපති රනිල්ට ජනාධිපතිවරණ පෙරමග සකස් කරමින් සිටියි. එහි අඩව්,කස්තිරම්,වන්නම් ඉදිරියේ දි බලාගත හැකිය.

    තත්ත්වය මෙසේ වුවත් පොහොට්ටුවේ ඉදිරි පෙළ නායකයන් තවමත් ඒ ගැන කට ඇර නැත. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ගැන සිටින්නේ දැඩි නිහඬ තාවයකය. ඇතැම් විට එය වත්මන් ජනපතිට අවාසියක් යැයි කෙනෙකු උපකල්පනය කළ හැකිය. නමුත් එය එසේ නොවේ. ඒ නිහඬ බවම මේ මොහොතේදී ජනපති රනිල්ට වෙස්වලාගත් ආශීර්වාදයකි.

    එ.ජා.පය වසර තිහකින් ජනාධිපතිවරණයක් ජයගෙන නැත. 2010,2015 ජනාධිපතිවරණවලට පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කළ එ.ජා.ප.ය 2019 ජනාධිපතිවරණයට පක්ෂයේ උපනායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළේය. ඔහු පරාජයට පත්විය. අද සජිත් විපක්ෂනායකය. 2020 මහ මැතිවරණයෙන් පරාජයට පත්ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආ රනිල් අද ජනපති ය. 2015 පැවතියේ ශ්‍රී.ල.නි.පයේ මහලේකම් හා එහිම සභාපතිවරයා අතර තරඟයකි. එය තනිකරම ගල උඩ සටනකි. මෙවර උද්වේඟකර සටන බොහෝවිට එ.ජා.ප නායකයා හා හිටපු උපනායකයා අතර වීමට පුළුවන. එසේ වුවහොත් ජනපතිවරයා දැනටමත් ජනපති සටන බොහෝ දුරට ජයගෙන තිබේ.
    ඇමති හරීන් ප්‍රනාන්දු කියන පරිදි අද රනිල් බැට් කරන්නේ ඔහු කැමතිම පිච් එකේය. ජනපති වන්නට වසර 30ට වැඩි කාලයක් ගේම් ගැසූ රනිල් අහම්බයෙන් ලැබුණු ජනපතිකම අත්හරින්නට හෝ ඉතිරි වසර 5 වෙනත් අයකුට පරිත්‍යාගකර ගෙදර යන්නට සූදානම් නොවන බව ඔහුගේ ඉතිහාසය ගැන දන්නෝ දනිති. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා පොහොට්ටුවේ බහුතර විශ්වාසය දිනාගෙන එ.ජා.ප – පොහොට්ටු සන්ධානයේ අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වනු ඇතැයි උපකල්පනය කිරීම මුලාවක් නොවේ.

    දේශපාලන පෙරැළියක් ගැන මෑතක වැඩිපුර අවධානයට ලක්වූයේ අග්‍රාමාත්‍යධුරයේ වෙනසක් පිළිබඳවය. දිනේෂ් අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යධුරයට පත්වේයැයි ඇතමෙක් කියති. එය දිනේෂ්-මහින්ද අතර පවතින අවබෝධය මත ඉදිරි සතියේ සිදුවනු ඇතැයි ද දේශපාලන කථිකාවක් ඇතිව තිබේ. එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් එවැනි පුටු මාරුවක් රටේ ජනතාවට නම් අවශ්‍ය බවට වගේ වගක් නැත. ඊට හේතු වී ඇත්තේ දිනේෂ් අගමැති ධුරය දරන්නේ ද යන්නවත් බිම් මට්ටමේ ජනතාවට නොවැටහීමයි.

    කෙසේ වෙතත් මෙවර ජනපතිවරණයේදී රනිල් මත යැපෙන්නේයැයි උපකල්පනය කළද පොහොට්ටුවේ අනාගතය රනිල්ට හෝ එ.ජා.පයට ලියා දිය නොහැකි බවට මතවාදයක්ද පොහොට්ටුව තුළ මතුවෙමින් තිබේ. මතුපිටින් අරගලයක් පෙනෙන්නට නැතත් අභ්‍යන්තරයේ තත්ත්වය වෙනස්ය. අරගලකාරී තත්ත්වයක් සමාජයේ නැතිනම් මෙවර රනිල්ට ජනපති අපේක්ෂකත්වය දෙන්නට පොහොට්ටුව උත්සාහ ගන්නේ නැත. ඊට අනුප්‍රාත්‍රිකයා නිසැකවම බැසිල් රාජපක්ෂය.

    ජනපති රනිල්, ජනපති ඔටුන්නට පැළදීමට පෙර ජනප්‍රිය දේශපාලන වෙළඳ භාණ්ඩයක් නොවේ. එහෙත් ඔහු මතුව තිබූ ගැටළු එකින් එක විසඳන අයුරු පෙනෙන්නට තිබේ. අපේ රටේ ඡන්ද දායකයා දිගු සිහින දකින්නේ නැත. ඔවුන්ට අවශ්‍ය දිනපතා දකින සිහින යථාර්ථයක් කරගනිමින් ජීවිතය ගත කිරිමයි. ඒ නිසා නොදුටු සැප සම්පත්වලට වඩා තිබෙන කටුක ජීවිතය නැමති මිහිරියාවම සැපක් ලෙස සැළකීමට පොදු ජනතාව පුරුදුවී සිටිති. ඊට ඔවුන්ට වරද පටවා වැඩක් නැත.

    තිස් අවුරුද්දක් යුද්ධයක්, පාස්කු ප්‍රහාර, අරගල මතින් ඇදෙන ජීවිතය කිසිසේත් සුමට නැත. ඒ කෙසේවුවද පොදු අපේක්ෂකයා තේරීමේ පරම බලය ඇත්තේ ඔබටය. ඔබ එය නිවැරදිව භාවිතා කරන තරමටම රට නිවැරදි දිශාවට ගමන් කරනු ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.