fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එල්ටීටීඊ සිරකරුවන් 8කට ජනපති සමාව -චන්ද්‍රිකාගෙත් කැමැත්ත අරන්

    එල්ටීටීඊ සිරකරුවන් 8කට ජනපති සමාව -චන්ද්‍රිකාගෙත් කැමැත්ත අරන්

    බන්ධනාගාරගතව සිටින දෙමළ සිරකරුවන් 08 දෙනෙකුට ජනාධිපති සමාව පිරිනමා තිබේ.

    මෙම දෙමළ සිරකරුවන් අතරින් තිදෙනෙක් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඝාතනය කිරීමට තැත් කිරීමේ චූදිතයින් බවට පත්වී බන්ධනාගාරගත වූ රැඳවියන් තිදෙනෙකි.

    ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගෙන් විමසා එම එකඟතාවය ද සහිතව නිදහස් කිරීම සඳහා අවශ්‍ය මූලික පසුබිම සකසා ඇත.

    ඒ අනුව, ඉදිරියට ගෙවීමට ඇති දඬුවම් කාලය අඩු කිරීම යටතේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ රැඳවියන් 04 දෙනෙක් නිදහස් කිරීමට කටයුතු කර ඇත.

    තවත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ දෙමළ රැඳවියන් ‍දෙදෙනෙකු ඔවුන් විසින් අභියාචනාධිකරණයේ ගොනුකර ඇති නඩු එම රැඳවියන් විසින්ම ඉල්ලා අස් කර ගැනීමෙන් පසු නිදහස් කිරීමට නියමිත ය.

    තවත් දෙමළ සිරකරුවන් දෙදෙනෙකුට ජනාධිපති සමාව යටතේ නුදුරේදීම නිදහස හිමිවීමට නියමිතය.

    වසර 30ක සිර දඬුවම් හිමිව වසර 22ක් දඬුවම් විඳ ඇති සිරකරුවන් තිදෙනෙකු, වසර 11ක සිර දඬුවම් හිමිව දැනට වසරක් 14ක් සිර දඬුවම් විඳි එක් අයෙක්, වසර 10ක සිර දඬුවම් හිමිව එහෙත් වසර 14ක් බන්ධනාගාරගතව සිටි එක් අයෙකු, වසර 05ක සිර දඬුවම් කාලයක් වෙනුවෙන් වසර 14 ක් බන්ධනාගාරවගතව සිටි දෙදෙනෙකු සහ වසර 19ක සිර දඬුවම් හිමිව මේ වන විට වසර 11ක් බන්ධනාගාරව සිටි එක් අයෙකු මේ අතර වෙයි.

    දෙමළ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා සමග සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගෙන ඇත.

    ඊට ප්‍රථම ඔවුන් පිළිබඳව පූර්ව තොරතුරු අධීක්ෂණයක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සිදු කර ඇත.

    එම එකඟතා වාර්තාව පිළිබඳ අධිකරණ අමාත්‍යවරයාගෙන් හා ඔහු මගින් නීතිපති වීමසීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹ තිබේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා‍‍වේ අධිකරණයකින් වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාව ලබා දීම සම්බන්ධව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම පියවර ගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.