fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජයට නව බඳවාගැනීම් නැවතීමෙන් මතුවූ ප්‍රශ්න ගැන සොයන්න කමිටුවක්

    රජයට නව බඳවාගැනීම් නැවතීමෙන් මතුවූ ප්‍රශ්න ගැන සොයන්න කමිටුවක්

    රාජ්‍ය සේවය සඳහා බඳවාගැනීම් තාවකාලිකව අත්හිටුවීමට රජය විසින් තීරණය කිරීම හේතුවෙන් මතුවු ගැටලු විසඳාගැනීමට කමිටුවක් පත්කිරීමට රජය තීරණය කර තිබේ.

    නව බඳවාගැනීම් අත්හිටුවීම නිසා, පුරප්පාඩු පිරවීමේ කටයුතු සඳහා අරඹා තිබූ ක්‍රියාමාර්ග නතර කිරීමට ද සිදුවී ඇති නමුත් ඇතැම් ස්ථානවල සේවක අතිරික්තයක් පවතී.

    මෙම කරුණු පිළිබඳ සොයාබැලීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලද යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ය.

    පවතින ආර්ථික තත්ත්වය යටතේ රාජ්‍ය සේවය සඳහා බඳවාගැනීම් තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කිරීම නිසා සේවා ව්‍යවස්ථා සහ බඳවාගැනීම් පටිපාටීන්හි විධිවිධාන පරිදි අනුමත තනතුරු සඳහා වන පුරප්පාඩු පිරවීමේ කටයුතු සඳහා ආරම්භ කරනු ලැබ ඇති ක්‍රියාමාර්ග නතර කර ඇත.

    අනුමත බඳවාගැනීමේ පටිපාටි අනුගමනය කරමින් මෙන්ම පැවති රජයන් විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයන් යටතේ වරින් වර උපාධිධාරින් හා වෙනත් සේවක කණ්ඩායම් සෘජුවම රාජ්‍ය සේවය සඳහා බඳවාගැනීම හේතුවෙන් සමස්තයක් ලෙස රාජ්‍ය සේවයේ සේවක අතිරික්තයක් පැවතියද ඇතැම් සේවක ගණයන්හි තනතුරුවල පුරප්පාඩු පවතී.

    එමෙන්ම, බඳවාගැනීමේදී විවිධ ක්‍රම අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය සේවය තුළ පැන නැඟී ඇති ගැටලු සම්බන්ධයෙන් යෝග්‍ය පියවර ගත යුතුව ඇත.

    ඒ අනුව, ඉහත සඳහන් කරුණු සමාලෝචනය කරමින්, රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව පවත්වාගෙන යාම සඳහා සිදු කළ යුතු අත්‍යවශ්‍ය බඳවාගැනීම් සම්බන්ධයෙන් ප්‍රමුඛතා හඳුනාගෙන ඒ සඳහා කාලරාමු නිර්දේශ කිරීමටත්, දැනට රාජ්‍ය සේවය තුළ පැන නැඟී ඇති ගැටලු සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමටත් මෙම කමිටුව ක්‍රියාකරනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.