අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිවීම හේතුවෙන් ශල්‍යකර්ම කිහිපයක් කල් තබා තිබෙන අතර දැඩි සත්කාර ඒකක පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයට ඖෂධ සැපයීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට ලොරි රථ නොපැමිණෙන බවද ඒවාට ඉන්ධන නොමැතිකමෙන් ඖෂධ කොළඹින් ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇතැයි ද වෛද්‍ය රාජකරුණා මහතා සඳහන් කළේය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි සියලුම රෝහල්වල අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන රෝගීන් දැඩි අනතුරකට මුහුණපා සිටින බවද ඔහු සඳහන් කළේය.