fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රමිතියෙන් තොරව කොම්පෝස්ට් හදන තැනක් ගැන විමර්ශන

    ප්‍රමිතියෙන් තොරව කොම්පෝස්ට් හදන තැනක් ගැන විමර්ශන

    ප්‍රමිතියෙන් තොර කෙම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන ස්ථානයක් සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුත්තලම නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය විසින් ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇත.

    කල්පිටිය – නොරචෝලේ ප්‍රදේශයේ ස්ථානයක ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් නිෂ්පාදනය කර වැලිමඩ ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සුදානම් කර ඇති බවට වන තොරතුරක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලැබී ඇත.

    ඒ අනුව අදාල ස්ථානය පරීක්ෂා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර ඇත.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කොම්පෝස්ට් නිෂ්පාදනය කරන ස්ථානය පරීක්ෂා කිරීමට එහි සිටි පිරිසක් මුලින්ම අවසර ලබා දී නැත.පසුව කෘෂිකර්ම නිලධාරීන් යුධ හමුදාවේද සහාය ලබා ගෙන අදාල ස්ථානය පරීක්ෂා කිරීමට කටයුතු කර ඇත.

    ඒ වන විටත් ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කර ඇසුරුම් කරන ලද කොම්පෝස්ට් පොහොර කිලෝ ග්‍රෑම් 40 ක් බැගින් වන මළු 1000 ක් ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබී ඇත.

    මෙම පොහොර තොගය වැලිමඩ ප්‍රදේශයට රැගෙන යාමට සුදානම් කර තිබූ බව එම ස්ථානයේ සිටි අය කෘෂිකර්ම නිලධාරීන්ට පවසා ඇත.කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ තාක්ෂණික උපදෙස් මත මෙම පොහොර නිෂ්පාදනය කර ඇති බව එම ඇසුරුම් මළු වල සදහන් කර ඇත.

    නමුත් තම කිසිදු නිලධාරියෙකු මෙම ස්ථානය පරීක්ෂා කිරීමට හෝ උපදෙස් ලබා දීමට ගොස් නොමැති බව අප කරන ලද විමසුමකදී පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලී මහත්මිය පැවසුවාය.

    මෙම පොහොර අලවි කිරීම සදහා 2011 වසරේදී අදාල ආයතනය විසින් ප්‍රමිති සහතිකයක් ඉල්ලා ඇතත් එය ප්‍රතික්ෂේප වී ඇත.

    ඉදිරිපත් කර ඇති පොහොර සාම්පල වල වැලි 68% ක් අඩංගු වී තිබීම ඊට හේතුව වී ඇත.ඒ අනුව අදාල ආයතනයට පරිසර,තාක්ෂණික හෝ වෙළද බළපත්‍රයක්ද නොමැති බව වැඩිදුරටත් කරන ලද සොයා බැලීමකදී අනාවරණය වූ බව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂකවරිය පැවසුවාය.

    කෙසේ වෙතත් මෙම පොහොර නිෂ්පදනාගාරය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරන ලෙස ජාතික පොහොර ලේකම් කාර්යාලය දැණුවත් කළ බවද නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් සදහන් කලාය.

    ජුඩ් සමන්ත

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.