තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගිනි අවි තොගයක් සමඟ ජෝතිෂ්‍යවේදියෙක් STF දැලේ

    ගිනි අවි තොගයක් සමඟ ජෝතිෂ්‍යවේදියෙක් STF දැලේ

    සිය අනියම් බිරියගේ සැමියාට ගිනි අවියක් එල්ලකර තර්ජනය කළේ යැයි කියනු ලබන ජෝතිෂ්‍යවේදියෙක් සහ තවත් අයෙක් ගිනි අවි රැසක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුරේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    එම ගිනි අවි අතර 0.22 වර්ගයේ පතොරම් යෙදිය හැකි රිවෝල්වරයක්, මයික්‍රෝවර්ගයේ අවියකට සමාන ඉතාලියේ නිෂ්පාදිත පුහුණු පිස්තෝලයක්, බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ විවිධ වර්ගයේ පතොරම් රැසක් මෙම වැටලීමේදී විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

    ජෝතිෂ්‍යවේදියා අනියම් සම්බන්ධය ඇතිකරගෙන සිටින කටානේ කාන්තාවගේ විවහාක සැමියා ඉතාලියේ රැකියාවක නිරතව සිටින්නෙකි. මෙම ජෝතිෂ්‍යවේදියාගෙන් වේලපත්කල බලා ගැනීමට ගිය අවස්ථාවකදී ඇතිවූ දැන හදුනා ගැනීමක් මෙසේ අනියම් සම්බන්ධයක් දක්වා දුරදිග ගොස් ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත. මෙම සම්බන්ධය නතරකරන ලෙසට විවහාක සැමියා සිය බිරිඳට නිතර දැනුම් දෙන බවත් ඒ සම්බන්ධයෙන් උරණ වූ ජෝතිෂ්‍යවේදියා මෑතකදී විවාහක සැමියා ඉතාලියේ සිට පැමිණි අවස්ථාවේදී ගිනි අවියක් එල්ලකරමින් ඔහුට තර්ජනයකර ඇති බවත් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

    ඒ සම්බන්ධයෙන් පොලීසියට විවාහක සැමියා පැමිණිල්ලක් කර ඇතත් ගිනි අවිය සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත. මේ ගැන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලද තොරතුරකට අනුව විමර්ශන කටයුතු විශේෂ කාර්ය බලකායට පවරා තිබේ.

    ඒ අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතායටතේ ක්‍රියාත්මක ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එස්.පි. ගුණතිළක ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට මෙම විමර්ශන කටයුත්ත පැවරී ඇත.

    දීර්ඝ විමර්ශනයකින් අනතුරුව කටානේ කොන්දගම්මුල්ල , දෙමන්හංදියේ පදිංචිව සිටින 51 වියැති ජෝතිෂ්‍යවේදියා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබේ. එහිදී ඔහු තමාට ගිනි අවිය ලබාදුන් අයෙක් ගැන තොරතුරු හෙළිකර ඇත. ඒ අනුව විශේස කාර්ය බලකායේ නිලධාරීන් කොටුගොඩ ගනේපොල පදිංචිව සිටින 55 වන වියේ පසුවන පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන ඇත. ගිනි අවි හමුවී ඇත්තේ ඔහු සන්තකයේ තිබියදීය.

    විදේශයකින් එම ගිනි අවි තමා රැගෙන පැමිණී බව ප්‍රශ්න කිරීම් හමුවේ එම සැකකරු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට පවසා තිබේ. බෝර 12 ගිනි අවියට ඔහුට බලපත්‍ර ඇතත් එම අවියට යොදන පතොරම් ප්‍රමාණය සන්තකයේ තබා ගැනීමට අවසරය ඇති ප්‍රමාණයට වඩා තිබුුණු බව විශේෂ කාර්ය බලකාය පවසයි.

    වැඩිදුර විමර්ශන කටයුතු සදහා අත්අඩංගුවටගත් සැකකරුවන් ගිනි අවි සහ පතොරම්ද සමග කටාන පොලිස් ස්ථානයට භාරදී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img