fbpx
තවත්
    මුල් පිටුවspecialකැම්ලූප් ඛේදවාචකය

    කැම්ලූප් ඛේදවාචකය

    කැනඩාවේ මිචිගන් ප්‍රාන්තයේ කැම්ලූප් නම් ස්වදේශික දරුවන් වෙනුවෙන් පිහිටුවා තිබූ නේවාසික පාසලක් අසලින් මේ වසරේ මැයි මාසයේදී ළමා මළසිරුරු හමුවීම කොවිඩ් ව්‍යවසනය අතරේත් ලෝකය සසල කළ සිදුවීමකි.

    මුල් වරට අනාවරණය කළ මළසිරුරු 225 ට පසුව මේ වන විට කැනඩාව පුරා එවැනි නේවාසික පාසැල් ආශ්‍රිතව දහස් ගණන් ළමා මළසිරුරු හමුවෙමින් තිබේ.


    ඒ සියල්ල ස්වදේශික ඉන්දියානු දරුවන් ගේ වීම මෙම සිදුවීම ඇමරිකානු මහද්වීපය තුළ සිදු වූ අතිශයින්ම තුච්ඡ සමූල ජන සංහාරයක් බවට තොරතුරු ලැබෙමින් ඇත. අමෙරිකා මහද්වීපයේ පමණක් නොව ඕස්ට්‍රේලියාව තුළ ද මෙවැනිම ස්වදේශික ජන සංහාර සිදු ව තිබෙන්නට ඇති ය යන අදහස මතු වෙමින් තිබේ.

    යුරෝපීයයන් විසින් සෙසු ලෝකය සොයා ගමනාගමනය ඇරඹෙන්නේ දා හතර , පහළොව සියවස් වල පමණ සිට වන අතර පෙරදිග ලෝකය සහ අප්‍රිකාව සහමුලින්ම යටත් කරගැනීමට අසමත් වූ යුරෝපීයයන් ඒ රටවල සාරය ආර්ථික ලාභ ලෙස සූරා රැගෙන ගියහ.

    එයින් නොනැවතී එම සූරාකෑමට දිගින් දිගටම කළ හැකි වන සේ එම රටවල සියවස් ගණනාවකට බලපාන සංස්කෘතික, දේශපාලනික හා ආගමික ගැටලු නිර්මාණය කළහ.

    නමුත් ඇමෙරිකා, ඕස්ට්‍රේලියා සහ නවසීලන්තය සම්බන්ධ සැලසූම ඊට වඩා වෙනස් වූ අතර සියවස් කිහිපයක් ඇවෑමෙන් අද වන විට එම කලාප යුරෝපීයයන් ගේ රාජධානි ලෙස වැජඹේ.

    සියවස් ගණනාවකට පසු අපි දකින ඒ රටවල් මානව සංවර්ධන දර්ශකයේ ඉහළින්ම සිටින හා මානව අයිතිවාසිකම් ඉහලින්ම රැකෙන ප්‍රජාතන්ත්‍රවාදයේ නිජබිම් වේ. නමුත් ඔවුන් අද ලෝකයට සාඩම්බරව පෙන්වා සිටින මානුෂීයත්වයේ සළුපිළි වලට යටින් ඇත්තේ කැම්ලූප් වැනි අති අමානුෂික ඛේදවාචකයන් හි දුර්ගන්ධය බව ද ලෝකයා දැන ගත යුතුය.

    අමෙරිකානු ස්වදේශික රතු ඉන්දියානුවන් (ඔවුනට රතු ඉන්දියානුවන් ලෙස ඇමතීම කරන්නේ යුරෝපීය ආක්‍රමණිකයන්ම වන අතර එම ඇමතීම එක්තරා අන්දමකට ඔවුන් පහත් කොට සැලකීමකි) හැකි පමණ ඝාතනය කර ඔවුන්ගේ නිජබිම ද පැහැරගත් යුරෝපීයය ආක්‍රමණිකයන්ට ඉතිරි වූ පිරිස මර්ධනය කිරීම වෙනුවෙන් කුමන හෝ වැඩපිළිවෙළක් අවශ්‍ය වූ අතර ඒ වෙනුවෙන් සම්බන්ධකර ගත හැකි හොඳම ආයතනය වූයේ කතෝලික පල්ලියයි.

    අමෙරිකානුවන් ලෙස ජාතියක් සේ ලෝකය හමුවේ නැගී සිටීමේදී ලෝකයටම පෙනෙන ලෙස කරන ලේ වැගිරවීම් ඒ තරම් ප්‍රසන්න දේ නොවීමත්, ලෝකය පුරා නිදහස් මතවාද ක්‍රමයෙන් පැතිර යමින් තිබීමත් ඊට හේතු විය. එනිසා නූගත් හා ග්‍රාම්‍ය යැයි ප්‍රකාශ කෙරුණු ස්වදේශිකයන් සංස්කෘතික කිරීම වෙනුවෙන් ක්‍රිස්තියානිකරණය කිරීම ප්‍රසිද්ධියේ රඟ දක්වා තිරය පිටුපසින් ස්වදේශික දරුවන් කැම්ලූප් වැනි නේවාසික පාසැල් වල බලහත්කාරයෙන් සිරගත කරවා අවනත කරගත් නොහැකි වූවන් වද දී මරා දැමූහ.

    අමෙරිකානු ෆෙඩරල් ආණ්ඩුවේ පාලනය යටතේ තිබූ එම නේවාසික පාසැල් සඳහා දී තිබූ ආදර්ශපාඨය වූයේ “ඉන්දියානුවන් මරා මිනිසුන් බේරා ගන්න – kill the indians, save the man” එවක පැතිර යමින් තිබූ ශිෂ්ටාචාරවත් කිරීමේ සළුපිළියට මේ ප්‍රකාශයේ ගැටලුවක් නොවුණේ සැබෑවටම ඒ නූගත් ග්‍රාම්‍ය ග්‍රෝත්‍රිකයන්ට එයින් සිදු කෙරෙන්නේ යහපතකිය යන්න සුකොමාල ඉහළ ප්‍රභූන් අතරේ විශ්වාසගත වූ නිසාය. නමුත් සැබෑවටම ස්වදේශිකයා ගේ සංස්කෘතිය පමණක්ම නොව සිරුර ද දවා අළු කර ඇති බව මේ වසරේ අනාවරණය වූ සිදුවීම් මාලාව කියා පායි.

    1800 ගණන් වල සිට මෙම නේවාසික පාසැල් 1980 දශකය තෙක් සක්‍රීයව පැවතුණු අතර අදාළ ඝාතනයන් හා හිංසනයන් මෙම සමස්ත කාල සීමාවට ම අදාළ බව ද අනාවරණය වෙමින් තිබේ.

    මෙම නේවාසික පාසැල් වල දී ස්වදේශික දරුවන්ට ඉංග්‍රීසියෙන් පමණක් කතා කරන්නට බල කෙරුණු බවත්, හිස කේ ඉතා කොටට කැපිය යුතු වූ බවත්, නම වෙනුවට අංක වලින් දරුවන් ඇමතුණු බවත්, පූජකවරියන් විසින් ඔවුන් මානසික මෙන්ම ලිංගික වදහිංසා වලට පවා ලක් කර ඇති බවත් මේ එම පාසැල් වලට ඇතුළත් කෙරුණු, නමුත් එයින් දිවි බේරාගත් මේ වන විට වැඩිහිටි වියට අවතීර්ණව සිටින මිශ්‍ර ස්වදේශික කැනේඩියානුවන් වෙතින් ප්‍රකාශ මාධ්‍යට නිකුත් වෙමින් පවතී.

    කැම්ලූප් අනාවරණයෙන් පසු මැරිවාල් රතු ඉන්දීය නේවාසික පාසැල, ශාන්ත ඉයුජීන් පාසැල, කූපර් අයිලන්ඩ් කර්මාන්ත පාසැල ආදිය ආශ්‍රිතව ද මළ සිරුරු විශාල ලෙස හමුව ඇති අතර මෙයින් සමහර පාසැල් 1990 දශකය දක්වා ක්‍රියාත්මක වූ ඒවා වේ. එමෙන්ම කැනඩාවේ සෙසු ප්‍රාන්ත වලද, සමස්ත අමෙරිකාවේ ද මෙවැනි සමූහ මිනී වළවල් තව විශාල සංඛ්‍යාවක් ඇතැයි සාධාරණ සැකයක්ද ද මතුවෙමින් තිබේ.

    මෙම නේවාසික පාසැල් වලට බොහෝ විටම දුගී, අනාථ දරුවන් ඇතුලත් කෙරුණු නිසා ඔවුන්ගේ ඝාතනයන් පහසුවෙන් වසංගා සිටීමට ද පාසැල් බලධාරීන් ට හැකි වන්නට ඇති බව පෙනේ.

    අමරිකාවෙන් එපිට යුරෝපීයයන් ආක්‍රමණය කෙරුණු ඕස්ට්‍රේලියා සහ නවසීලන්තය යන රටවලින් ද මෙවැනිම අමානුෂික ජන සංහාර සිදු වන්නට ඇතැයි ද අදහස් මතු වෙමින් තිබේ.

    නිදහස සහ මානවවාදය පිළිබඳව බොහෝ අගයන් ලෝකය පුරා පැතිරෙන සහ ඒ හා බැඳුණු මානව හිමිකම් රැකීම පිළිබඳව තෙවැනි ලොව රටවලට බෙහෙවින් බල කෙරෙන ලෝකයක ලෝකෙට ලොක්කන් විසින් කරන්නේ රටට පරකාසේ ගෙදරට මරගාතේ වැනි කෙරුම් බව මෙයින් අවසානයේ කියා දෙන පාඩම වේ.

    සජිනි උයන්ගොඩ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.