fbpx
තවත්
    මුල් පිටුවජීවන රටාවචීන රසවතිය - Li Ziqi

    චීන රසවතිය – Li Ziqi

    අන්තර්ජාල පරිහරණය කරන අයගේ එක් එක් විනෝදාංශ අතරේ රසවත් විනෝදාංශයක් තමයි cooking channel නැත්නම් ඉවුම් පිහුම් නැරඹීම. ඒ අතරේ අතිශය ජනප්‍රියත්වය ට පත් ඉවුම් පිහුම් නාලිකාවක් තමයි Li Ziqi කියන්නේ. චීනයේ ගම්බද සුන්දර පරිසරයක හීන කතන්දරයක කුමාරියක් වගේ දිස් වෙමින් ඈ කරනා ඉවුම් පිහුම් වලට වශී වී ලෝකයේ මේ වනවිටත් Li Ziqi Cooking නරඹන ප්‍රේක්ෂකයන් ගණන බිලියන 1.5 ඉක්මවන බවයි වාර්තා වෙන්නේ.

    කවුද Li Ziqi කියන්නේ?

    ලී කියන්නේ චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ පින්යින් හෙවත් Pingwu ප්‍රදේශයේ තම මිත්තණිය සමඟ ජීවත් වන අවුරුදු 30 ක තරුණියක්. ලී ගේ ළමා විය ඒ තරම් සුන්දර නොවන බවයි පැවසෙන්නේ. දෙමාපියන් දික්කසාද වූ පසු පියා යටතේ වැඩෙන ඈ ට කුඩම්මාගේ අඩම්තේට්ටම් නිසා දුෂ්කරතාවයට පත් වෙනවා. ඈ එයින් මිදීමටයි තම මිත්තණිය හා මුත්තණුවන් සමඟ ඈත කඳුකරයේ දුගී ගමක වාසය තෝරා ගෙන ඇත්තේ. ඇගේ මුත්තණුවන් ගොවියෙක් සේම කෝකියෙක්. ඇයට ඉවුම් පිහුම් සඳහා උත්තේජනය ඔහු වෙතින් ලැබුණ බවයි පැවසෙන්නේ. මුත්තණුවන් ගේ මරණයෙන් පසු පාසැල් අධ්‍යාපනයෙන් සමු ගැනීමටත් ග්‍රාමීය චීන තරුණ තරුණියන් බොහෝ දෙනා සිදු කරන ආකාරයට නගරයට රැකියාවක් සොයා යෑමටත් ලී ට සිදු වෙනවා. ඒ අනුව නගරයේ වේටර්වරියක, ඩීජේ සංගීතය සපයන්නියක සහ ගායිකාවක ලෙස කටයුතු කල බව සදහන්.

    හදිසියේ මිත්තණියගේ අසනීප තත්වය මත නැවත ගමට ඒමට සිදුවන ඇයට නැවත සාමාන්‍ය ගැමි තරුණියක සේ ගොවිතැන හා ඉවුම් පිහුම් වල නිරත වීමට සිදු උන නමුත් අවසානයේ එයම ඇගේ ඉරණම වෙනස් කර මුලු ලෝකයක් ආදරයෙන් වැළඳ ගන්නා තරුණියක් සේම සොබා දහම, සංස්කෘතිය සහ රසවත් ආහාරපාන ඇසුරේ ඉතා නිදහස් ජීවිතයක් ගෙවන්නියක බවට ත් පත් කරනවා.

    2015 Meipai කියන මොබයිල් ඇප් එක හරහා තම කුඩා අලෙවිසැල ජනප්‍රිය කරවීමට ඒ ගැන කියවෙන වීඩියෝ අන්තර්ජාලයට එක් කරන ඈට ක්‍රමයෙන් ලොව පුරා මිලියන ගණනක නරඹන්නන් ආශක්ත වෙන්නේ ඈ ව අන්තර්ජාලයේ තාරකාවක් බවට පත් කරමිනුයි. සම්ප්‍රදායික චීන ආහාර වට්ටෝරු ඉතා ම මූලික අමුද්‍රව්‍ය යොදා ගනිමින් සිත් ගන්නා සුළු ආකාරයට ඉදිරිපත් කරන නිසාමයි ඈ ට මේ තරම් විශාල ආකර්ෂණයක් අන්තර්ජාලයේ හිමි වන්නේත්.

    ලී පවසන ආකාරයට ඇගේ ඉලක්කය නාගරික අන්තර්ජාල පරිශීලයකන්. “මට අවශ්‍යයි ඔවුන්ට දැන්වීමට ඔවුන් ගේ ආහාර පැමිණෙන්නේ කොතනින් ද යන වග” ලී එසේ සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබෙනවා.

    චීනයේ විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන Sina Weibo හි මිලියන 25 ක නරඹන්නන්, facebook සමාජ ජාලයේ මිලියන 3 කට අධික නරඹන්නන් සහ YouTube හි මිලියන 10 ක ට අධික නරඹන්නන් ඇයගේ නවතම ඉවුම් පිහුම් මොනවාදැයි නිරන්තරයෙන් විමසා සිටීමෙන් ම කඳුකරයක හුදකලා පරිසරයක ගහකොළ ඇසුරේ වෙසෙමින් වුවත් ලී කරන විප්ලවය කොයි තරම් සුවිසල් දැයි සිතා බැලිය හැකියි.

    2019 Peoples Daily පුවත්පත විසින් People’s Choice Award ඇය වෙත පිරිනමන අතර චීනයේ CCTV ආයතනය ද ලී විසින් ලෝකයට චීන සංස්කෘතිය ජනප්‍රිය කරවීමට ගන්නා උත්සාහය ගැන විශේෂයෙන් අගයා තිබෙනවා.

    ඒ විතරක් නොවෙයි ඇගේ ක්‍රමය ලොව පුරා රටවල් ගණනාවක අනුකරණය කරමින් පවා තියෙනවා. එනිසා මේ ලී ගේ සාර්ථකත්වයේ ආරම්භය පමණක් බව කිව හැකියි. මන්ද යත් තව වසර කිහිපයකින් ඈ අනිවාර්යයෙන්ම ලොවම කතා බව කරන චීන සංස්කෘතික හා වෙළඳ සන්නාමයක් බවට පත් වෙනවා නිසැක නිසයි.

    සජිනි උයන්ගොඩ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.