fbpx
තවත්
    මුල් පිටුවජීවන රටාවපිරිමින් ගේ යුද්ධ වලින් බැට කන ගැහැණු

    පිරිමින් ගේ යුද්ධ වලින් බැට කන ගැහැණු

    ගල්ෆ් කලාපය ඇවිලෙමින් තිබේ. ලෝකයම බය වෙමින් සිටින්නේ තුන්වන ලෝක යුද්ධයක් පිළිබඳවයි. මේ සිදුවීම පසු පස ලොව බලවත් දේශපාලන හස්තයන් රැසකි. ඒ සියල්ලන් පිරිමි වන අතර කවදත් ලෝක ඉතිහාසයේ යුධ ගැටුම් වල මුලට සිටියේ පිරිමි පමණි. පිරිමින්ට යෙදෙන්නට උවමනා යුද්ධ වල කාන්තාවන් ගේ ජීවිත ඛේදවාචකයන් අතිශය බිහිසුණුය. මේ සටහන ඒ වෙනුවෙනි.

    ලෝකය පාලනය කරන්නට වරින් වර ගැහැණුන් පාලන බලයන් සියතට ගත් බව පැහැදිලි මුත් ඒ සියලු ගැහැණු පසුපස රැඳි ඔවුන් හසුරුවමින් සැබෑ බලය භුක්තිවිඳි ආක්‍රමණික පුරුෂයන් ගැන ද ඉතිහාසය සටහන් කරයි. ආදි කල්පිත යුගයේ මිනිසා රංචු ලැදියාවෙන් ජීවත් වන්නට එකඟ වූ තැන සිට ගැහැණිය නිවසේත් පිරිමියා නිවසින් පිට ගැටීමත් සනිටුහන් වී ඇත. ඒ පුරුද්ද අද දක්වාම පුරුෂ සමාජය පවත්වා ගෙන එයි. යුද්ධ, රණඝෝෂා, ආයුධ පිරිමින් ගේ වාග්කෝෂයට සමීප ගැහැණුන්ගෙන් වියුක්ත ඒවා වන්නේ එසේය. ඉතාම සාමකාමී සාමාන්‍ය සමාජයක වුව කුඩා කල සිට පිරිමි දරුවන්ට සෙල්ලම් ආයුධ, යුධ ටැංකි වැනි දෑ දෑත තබද්දී ගැහැණු දරුවා රෙදි බෝනික්කන් දී සනසවයි. මේ සියල්ලෙන් පෙනී යන්නේ යුද්ධය, ප්‍රචණ්ඩත්වය පුරුෂ මූලික කරනු ලබන බවයි.

    පුරුෂයන්ට සිය රණකාමී බවේ තෘප්තිය ලබන්නට යුධ ඉතිහාසය පුරාම අනේක වද විඳින්නී ගැහැණියයි. මැදපෙරදග කලාපය පුරා රඳවා තැබෙන ඇමරිකානු සොල්දාදුවන් ගේ බිරින්දෑවරු සැතපුම් දහස් ගණනක ඈත සිට ජීවිතයේ ඉතා දුෂ්කර කාලපරිච්ඡේද ගෙවා දමති. සංවර්ධිත රටක වුව රණවිරු බිරියන් එසේ තැවෙද්දී යුධ ගැටුම් සහිත කලාප වලම වෙසෙන සතුරු මිතුරු සියලු පාර්ශ්වයන්හි බිරින්දෑවරු ගෙවාදමන්නේ හිතා ගැනීමටත් නොහැකි කටුක අත්දැකීම් රැසකි.

    ලෝකයේ වරින් වර සිදුවූ අවාසනාවන්ත යුධ ගැටුම් වල කාන්තාවන් කොයි තරම් පීඩනයට ලක් කරන්නේදැයි ඉරාකයේ නාදියා මුරාද්, උගන්ඩාවේ එව්ලින් අමොනි ගේ කතන්දර වලින් හෙලි වේ. ලිංගික ප්‍රචණ්ඩත්වය එම කතාවල ප්‍රබලම සිදුවීමයි. මෙතෙක් ලොව සිදුවූ සෑම යුද්ධයකම පාහේ සතුරා ගෙන් පළි ගන්නා හොඳම ක්‍රමය ඔවුන්ගේ ගැහැණුන් දූෂණය කිරීම, ලිංගික වහලියන් සේ ලඟ තබා ගැනීම යයි ඇදහූ බව පෙනේ. මේ සියල්ල පුරුෂයන් විසින් තම තනි කැමැත්ත මත හදාගත් යුධ උපක්‍රම වන අතර ගැහැණිය හුදු වින්දතයා පමණි.

    යුධමය සමාජය කාන්තාවට ශාරීරික බලහත්කාරකම් කර පමණක් තෘප්තිමත් නොවේ. එතෙක් පුරුෂයන් ගේ පාලනයේ පැවති සමස්ත සමාජයේ ආර්ථික යාන්ත්‍රණයම බාර ගන්නට සිදු වන්නේ කාන්තාවටයි. දෙවන ලෝක යුධ සමයේ පුරුෂයන් සටන් පෙරමුණට යද්දී එතෙක් ඉතා සම්ප්‍රදායිකව පැවති සමාජ ක්‍රමයේ නිවෙසට වී සිටි කීකරු බිරින්දෑවරුන්ට සටන් කරන පිරිමින් වෙනුවට මුදල් උපයන්නට රැකියා කරන්නට සිදු වූ බව පැවසේ. එම සිදුවීම කාන්තාවිමුක්ති ගමනේ වැදගත් අවස්ථාවක් ලෙස ද ඉතිහාසය සටහන් කර ඇත. නමුත් ගැහැණිය එකී නිදහස දිනා ගන්නේ පිරිමින් ගේ කැමැත්තට ඇරඹි යුද්ධයක නිකරුණේ කටුකත්වය විඳින ගමන් වීම ශෝචනීය.

    යුද්ධය නිසා විනාශ වන පිරිමි ජනගහනය ද නැවත කාන්තාවගේ ජීවිතයට බලපෑම් කරන්නේ විවාහයට සුදුසු සහකරුවන් හිඟවීම, එසේ තිබියදීත් අහිමි වූ ජනගහන වෙනුවෙන් වැඩි වැඩියෙන් ගැබ් දරන්නට කරන සමාජීය බලපෑමට ලක්වීම, වැන්දඹු පවුල් වල එකම උපයන්නා හෝ මූලිකයා වෙමින් විශාල වගකීම් රැසක් උසුලන්නට වීම වැනි බොහෝ කාරණා වලින් ඇයට සිය ජීවිතයේ තීරණ නිදහසේ ගැනීමට මග අහුරා දමමිනි. මෙනිසාම පශ්චාත් ව්‍යසන අක්‍රමනතා වලට වැඩි වශයෙන් ලක් වෙන්නේ කාන්තාවයි.

    යුද්ධය කිසිදා සුන්දර සිදුවීමක් නොව මනුෂ්‍යත්වය ද පාගා දමන කුරිරු සිදුවීමකි. පිරිමින් අතින් නිර්මාණය එම කෲරත්වයේ වැඩිම වදය විඳින්නී ගැහැණියයි. ලෝකය සහශ්‍රකයකට පසු නීතිගරුකබව, නිදහස පිළිබඳ අගය, සමානාත්මතාව අදහමින් පැවතියාට වඩා දියුණු ලෝකයක් අරමුණු කරයි නම් පුරුෂයන්ගේ යුද්ධ වලට නිකරුනේ කාන්තාව බිළිගැනීම වැලැක්විය යුත්තේය.

    These four female pilots leaving their ship at the four engine school at Lockbourne are members of a group of WASPS who have been trained to ferry the B-17 Flying Fortresses. (U.S. Air Force photo)

    සජිනි උයන්ගොඩ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.