fbpx
තවත්
    මුල් පිටුවක්‍රීඩාලාංකේය ක්‍රීඩාවට C-19 පිළිතුරු සොයමු

    ලාංකේය ක්‍රීඩාවට C-19 පිළිතුරු සොයමු

    C19 ලොව සෑම රටක්ම, සෑම ක්‍ෂෙත‍්‍රයක්ම, සෑම පාර්ශවයක්ම, අඩු වැඩි වශයෙන් අභියෝගයන් වෙත යොමු
    කිරීමට මූලික වී ඇත. මෙම අභියෝගයන්ට විසදුම් ලබා දිය හැකි වන්නේ, එක්ව කටයුතු කිරීමෙන් පමණි.
    අභියෝග ජය ගත යුත්තේ එක්වය. ඒ තුළින් සමස්ත ලාංකීය සමාජයම දියුණු කරවීමේ හැකියාව පවතී. C19
    පරමාදර්ශයන් මෙය වේ.

    ක‍්‍රීඩා සදහා සමාජ දුරස්ථබාවය පිළිබද ප‍්‍රතිපත්තිය මූලික අභියෝගයක්ව පැවතීම සමාජයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇති කාරණාවකි. ක‍්‍රීඩා පරිපාලනය, කළමනාකරණය සහ සංවර්ධනය සදහා කටයුතු කරන පාර්ශවයන්ගේ ද මූලික අවධානය මේ සම්බන්ධයෙන් යොමු වී ඇත. ඒ සදහා යෝග්‍ය විසදුම් ලබා දීමේ වගකීම නිරායාසයෙන්ම ඔවුන් වෙත පැවරී ඇති කාර්යයකි. මේ සදහා ක‍්‍රීඩාව හැසිරවිය යුතු වන්නේ කෙසේද? මේ සදහා විසදුම් ලබා ගත යුතු වන්නේ කවර ආකාරයකින් ද යන වග සිතා බැලීම කාලීන වශයෙන් වැදගත්ය.

    C19 පෙර ලාංකීය ක‍්‍රීඩාවේ නැවත ප‍්‍රවේශයන්ගේ තීරණ බොහොමයක ප‍්‍රතිඵල ප‍්‍රමාණවත් නොවූ බව ක‍්‍රීඩා ලෝලීන් මෙන්ම මහජනයාද දන්නා සත්‍යකි. නැවත ප‍්‍රවේශය ලාංකීය ක‍්‍රීඩාවට අභියෝගයක් නොවන්නේ, මෙතෙක් කල් ක‍්‍රීඩා පරිපාලනය, කළමනකරණය පුරුදු පුහුණු කළ ක‍්‍රියාවන් අතර නැවත ප‍්‍රවේශයන් නිරන්තරයෙන් සිදු කළ බැවිනි.
    නමුත් C19 සංක‍්‍රාන්තිය තුළ ලාංකීය ක‍්‍රීඩාවේ අභියෝගය වන්නේ නැවත සිතීමේ ක‍්‍රියාවයි. නැවත සිතීම තුළින් නිවැරදි වූ නව ප‍්‍රවේශයක් වෙත ක‍්‍රීඩාව යොමු කිරීම සදහා පියවර කිහිපක් ගත යුතුව පවතී. ඉන් මූලිකවම අවධානය යොමු කළ යුතු කාරණාවන් වන්නේ, ක‍්‍රීඩාව ලංකාවේ ජාතික සංවර්ධනයට ප‍්‍රමාණවත් ආකාරයෙන් දායක වනවාද යන්නයි. ජාතික වගකීම ලෙස බොහෝ ක‍්‍රීඩා කළමනාකරණ සහ පරිපාන පාර්ශවයන් දකින්නේ තම තමන් මැදිහත්ව කටයුතු කරන ක‍්‍රීඩාවේ, ඉහළම තරගයට හෝ තරගාවලීන් සදහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගී කරවමින් රන්, රීදී, ලෝකඩ පදක්කම් දිනා ගැනීම වෙතය.

    නව වාර්තාවන් පිහිටුවීමේ අරමුණු වෙතය. ජයග‍්‍රහණ ලැබූවන් ඉහළින් පිළිගනී. පරාජිතයන් නොපිළිගනී. නැවතත් ජයග‍්‍රහණ ලබා ගැනීම වෙනුවෙන් ක‍්‍රීඩාව මෙහෙයවයි. මේ ආකාරයට හැසිරවූ ක‍්‍රීඩාව පිළිබද නැවත සිතීමට C19 විවේකය ලබා දී ඇති. මේමගින් උපරිම ප‍්‍රතිඵල ලබා ගැනීමට ලාංකීය ක‍්‍රීඩාව පිළිබද දකින ආකාරය, සිතන ආකාරය, තීරණ ගැනීමේ ආකාරය මෙන්න පරිපාලන සහ කළමනාකරණ මානයන් වෙනස් විය යුතුව පවතී.

    නිවැරදිව නැවත ප‍්‍රවේශයක් ලබා ගනිමින් ලාංකීය ක‍්‍රීඩාව යොමු කිරීම සදහා ඉතිහාසය අමතක නොකළ යුතුය. ඉතිහාසයෙන් ලද පූර්වාදර්ශයන් අනුසාරයෙන් ක‍්‍රීඩාව මෙහෙය විය යුතුව ඇත. ලිපි ලේඛනයන්ගේ ප‍්‍රකාශයන් හුදෙක් ප‍්‍රකාශයන් පමණක් කරමින්, පෞද්ගලික න්‍යාය පත‍්‍රයන්ට අනුව බොහෝ ක‍්‍රීඩාවන් මෙහෙය වීම සහ පරිපාලනය සිදු කරනු ඇත. මේ තුළින් අභියෝගයට ලක් වන්නේ, ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්, පුහුණුකරුවන් සහ විනිසුරුවරුන් පමණි.

    ලංකාවේ ක‍්‍රීඩාවට යොමු වීමේදී මේ කිසිදු පාර්ශවයක් වෙනුවෙන් ස්ථිර රැකවරණයන් තවමත් නොමැත. එකම රැකවරණය හැකිතාක් දක්‍ෂතා දක්වමින් පදක්කම් දිනා ජීවිකාව පවත්වා ගැනීමය. ක‍්‍රීඩාව හා සම්බන්ධ වෘත්තීන් ඉතා පහත් තත්වයෙන් සැලකීමට නැඹුරුව ඇත. මේ ම`ගින් පැහැදිලි වන්නේ ක‍්‍රීඩාව හා සම්බන්ධ වූවන්ගේ අසරණභාවයයි. ලාංකීය ක‍්‍රීඩාවේ දුගීබව නොවේද? එසේනම්, ලාංකීය ක‍්‍රීඩාවේ දුගී බව ඇති කරන්නේ කවුද? ලාංකීය ක‍්‍රීඩාවේ දුගී බවට වගකිව යුත්තේ කවුරුන්ද? C19 විවේකය ඒ සදහා පිළිතුරු සෙවීමට අවැසි කාලයයි.

    ලෝකයේ ක‍්‍රීඩාව තරම් පොහොසත් මාධ්‍යයක් වෙන නොමැත. නමුත් ලංකාවේ තත්වය වෙනස්ය. මේ තත්වයට පත්වීමට ප‍්‍රධාන හේතුව වන්නේ රාජ්‍ය මැදිහත් වීම ලාංකීය ක‍්‍රීඩාවෙන් ඈත් වී තිබීමයි. මේ තත්වය ඇති වීමට වගකිව යුත්තේ කවුද? මේ ආකාරයට මතුවන ප‍්‍රශ්න රාශියකි. මෙහි අයිතිකරුවන් වන්නේ ක‍්‍රීඩාව හසුරුවන, පරිපාලනය සහ කළමනාකරණය සදහා මූලිකව කටයුතු කරණ පාර්ශවන්ය බව මාගේ විශ්වාසයයි. මේ තත්වයෙන් ක‍්‍රීඩාව බේරා ගැනීම එකී පාර්ශවයන්ගේ මූලික වගකීමයි. ඒ නිසා C19 සංක‍්‍රාන්ති සමය ලාංකීය ක‍්‍රීඩාවේ දුගීකම තුරන් කිරීමට යොමු කළ යුත්තේ කවර ආකාරයෙන්ද යන වග සිහිතබා ගනිමින් කටයුතු ආරම්භ කළ යුතුය.

    එලෙස කටයුතු කිරීමට නම් පෞද්ගලික අභිමතයන්ගෙන් ඈත් වී ක‍්‍රීඩාව මෙහෙයවිය යුතුය. ක‍්‍රීඩාවේ ජාතික වගකීම පිළිබද වූ අවබෝධය පරිපාලන සහ කළමනාකරණ පරිසරයට ඇතුළත් කළ යුතුය. පොදු යහපත වෙනුවෙන් තීරණ ගත යුතුය. සමාජයේ සෑම පාර්ශවයකගේම යහපත වෙනුවෙන් එම තීරණයන්ගේ බලපෑම් ඇති කළ යුතුය. තීරණ ප‍්‍රකාශයට පත් කළ යුත්තේ, ජනමාධ්‍යයන් හෝ සමාජයන් මවිතයට පත් කරවීම හා කැළඹවීමට නොව, ජාතික යහපැවැත්මට උදෙසාය. මේ සියල්ල සිදු කළ හැකි වනුයේ ලාංකීය ක‍්‍රීඩාව සදහා වූ ජාතික ක‍්‍රීඩා ප‍්‍රතිපත්තියට අනුව පමණක් ක‍්‍රියා කිරීමෙන් බව අවධාරණය කිරීමට කැමැත්තෙමි.
    මේ සම්බන්ධයෙන් ක‍්‍රීඩාව හා සම්බන්ධ වගකිව යුතු පාර්ශවයන් එක්ව කටයුතු කිරීමට යොමු වීම කාලීන අවශ්‍යතාවයකි. මේ ලැබී තිබෙන්නේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට පත් කර අදහස් විමසීම වෙනුවට, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයන්ගේ අවශ්‍යතාවන් පළමුව හදුනා ගනිමින්, නිවැරදි පාර්ශවකරුවන් ඒ සම්බන්ධ කර ගනිමින් එක්ව තීරණයන්ට යොමු විය යුතු කාලයකි.

    මේ තුළින් සියලූම ක‍්‍රීඩා පරිපාලන, කළමනාරණ සහ සංවර්ධන පාර්ශවයන්ගේ මෙන්ම නිළධාරීන්ගේ යම් ආකාරයකට ක‍්‍රීඩාව ස`දහා සිදු කරනු ලබන අනිසි බලපෑම්, පදනම් විරහිත ක‍්‍රියාවන් පාලනය කරමින් නව මාවතකට ක‍්‍රීඩාව යොමු කිරීමට, සහ ආරක්‍ෂා කර ගැනීමට අවශ්‍ය විනයක් පවත්වා ගැනීමට අවකාශය ලැබෙනු ඇත.

    ඒ නිසා සෑම ක‍්‍රීඩා පාර්ශවයක්ම, පුද්ගලයෙක්ම ක‍්‍රීඩාව මෙහෙය විය යුත්තේ යුත්තේ ජාතික අවශ්‍යතාවන්ට අනුකූලවය. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාවට තිබිය යුත්තේ පොදු දැක්ම පමණි. සෙසු පාර්ශවයන්ගේ දායකත්වය ලබා දිය යුත්තේ, ඔබ අයත් ක‍්‍රීඩාව මෙහෙය විය යුතු වන්නේ ඒ සදහා වන ඉලක්කයන් සපුරා ගැනීම වෙනුවෙනි. වෙනස් විය යුත්තේ, විවිධ විය යුත්තේ, ඒ සදහා ඒ ඒ ක‍්‍රීඩාවෙන් ලබා දෙන මෙහෙයයන් පමණි.

    අනෝමා රත්නායක

    B.A., M.S.Sc., (Kel’ya), M.S.Sc. (Seoul National University, South Korea) ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කී‍්‍රඩා විද්‍යා සහ ශාරිරික අධ්‍යාපන අධ්‍යයන අංශය සමාජීය විද්‍යා පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    අනෝමා රත්නායක
    B.A., M.S.Sc., (Kel’ya), M.S.Sc. (Seoul National University, South Korea) ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කී‍්‍රඩා විද්‍යා සහ ශාරිරික අධ්‍යාපන අධ්‍යයන අංශය සමාජීය විද්‍යා පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය.

    ඔබේ අදහස් දක්වන්න.