fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජනපති ගෝඨාභය බැසිල්ට දුන් අපූරු පිළිතුර

    ජනපති ගෝඨාභය බැසිල්ට දුන් අපූරු පිළිතුර

    තෙල් මිල ඉහළ යාම ගැන ජනතාව මැසිවිලි නගන බව සැබෑය. ඒ මැසිවිලි නැගනුයේ හුදෙක් තෙල් මිල නිසාම නොව ඊට සමඟාමීව අබ ඇටයේ පටන් හැම දේකම මිල ඉහළ යන නිසාය.

    ඒ පිළිබඳව සාකච්ඡාව කරළියට පැමිණෙන විටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් දැමූ නිවේදනයක් කරළියට ආවේය. ඉන් කියැවුණේ තෙල් මිල වැඩි කිරීමේ අප්‍රසාදය සළකා බලමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම්
    බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල

    ජනතාව මෙම නිවේදනය ගැන ආකාර කිහිපයකට කල්පනා කළේය. ඉන් එක් විධියක් වූයේ තෙල් මිල ඉහළ දැමීම ජනතාවට අමතක කරවීමේ ආණ්ඩු නාටකයක් යැයි සිතා ගැනීමය.

    දෙවැන්න බැසිල් රාජපක්ෂ විසින් දිගු කාලීනව පරසතුරු පක්ෂ ලෙස සළකන පිවිතුරු හෙළ උරුමයේ නායකයාට පහර දීමය.

    තෙවැන්න නාමල් රාජපක්ෂ මහතාට යම් දිනෙක අභියෝගයක් විය හැකි චරිත කල්තබා දේශපාලනයෙන් අතුගා දැමීමය.

    මේ කොයි විධියකට ගත්තත් ජනතාව තෙල් මිල වැඩි කිරීමේ පළමු ප්‍රස්තුතය අත්හැරියේ නැත. ඔවුන් නැව් ගිලීම, මන්ත්‍රී වාහන ගෙන්වීම මෙන්ම තෙල් මිල ඉහළයාම එක මිටට තබා ගත්තේය.

    දැන් පොහොට්ටුව විසින්ම පොහොට්ටු සන්ධානයේම ඇමතිට පහර දෙන්නේ ඇයි දැයි විමසා බැලීම වටී. ගම්මන්පිල කියු වදනින්ම ගත්විට ඔහු කීවේ අයි ඩෝන්ට් ක්නෝ වයි? කියලාය.

    ගම්මන්පිල පැහැදිලි කළේ ජීවන වියදම් කමිටුවේ ප්‍රධානියා ජනාධිපතිතුමා වනවාක් මෙන්ම කඩිනම් පියවර ගැනීමට ජනපති පත් කළ කමිටුවේ සභාපතිවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බවයි. ඔවුන් දෙදෙනාට යටත්ව ගත් මෙම තීන්දුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින්ම විවේචනයට ලක් කරනුයේ කෙසේදැයි ගම්මන්පිලම විමසා සිටියේය.

    gotabaya rajapaksa
    ජනපති ගෝඨාභය රාජපක්ෂ
    අගමැති මහින්ද රාජපක්ෂ

    ඇත්ත ඇතිසැටියෙන් ගත්විට නම් මේ අමෙරිකාවේ සිට ආ පණිවුඩයකට නිවේදනයක් ගැලපීමකි. ජනපති ගැන කිසිදු අවබෝධයක් නැතිව නිවේදන හදන ජනපති මාධ්‍ය අංශය මෙන්ම පක්ෂය ගැන අවබෝධයක් නැතිව සාගර කාරියවසම් වෙනුවෙන් මේ නිවේදනය සකස් කළ කෙළ පැමිණියෝ ද මෙවර හත්පොලේ ගාගත්තේය.

    එසේ නොමැතිව පක්ෂයේ මතය නිවැරදිව ලියා ගැනීමට තරම් පරිණත මාධ්‍යවේදියෙකු මෙම පක්ෂයේ මාධ්‍ය පඩංගුවල සිටියේ නම් මෙලෙස වන්නේ නැත.

    ගම්මන්පිල ඊයේ සවස මාධ්‍ය හමුවක් ගෙන සිදුවූ සියල්ල හෙළිදරව් කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු නොවූ දෙයකි. ඉන් තවත් කෝන්තර කිහිපයක්ම එළියට පැන්නේය. විමල්ලා-ගම්මන්පිලලා පසුගියදා පැවති නිදහස් පොදුජන පෙරමුණේ පක්ෂ නායක හමුව වර්ජනය කළේය. ඔවුන් එම වර්ජන අවස්ථාවේ කෙලින්ම ගියේ ජනපති ගෝඨාභය හමුවීමටය. ගෝඨාභය ජනාධිපතිවරයා මේ සිදුවීම් ගැන විමසිල්ලෙන් සිටින බව ඇත්තය.

    ජනපති කාර්යාලයෙන් තෙල් සම්බන්ධ නිවේදනයෙන් නිකුත්වන්නේ එවන් පරිසරයකය. ඊයේ උදෑසනම අග්‍රාමාත්‍යතුමා ද හමුවී ගෝඨභය රාජපක්ෂ ජනපතිවරයා මෙම නිවේදනයට මුල පුරා තිබිණි.

    අවසානයේ ගම්මන්පිලට ආ චෝදනාවලින් ඔහු නිදහස්වන පරිද්දෙන් තෙල් මිල වැඩිකිරීමට ගත් තීන්දුව ආණ්ඩුව ගත් තීන්දුවක් බව පෙන්වන ජනපතිගේ නිවේදනය නිකුත් විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැසිල් රාජපක්ෂ ජනාධිපති පුටුවේ වාඩි කිරීමේ හීනයක පෙළෙමින් සිටිනවා නම් ගෝඨාභය ගේ මේ එළිය සුළු පටු එකක් නොවන බව දැන්ම වටහා ගත යුතුය.

    මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා කල්තබා විශ්‍රාම යන බවට සාවද්‍ය පුවත් සකසා තිබුණේ ද මේ කල්ලියේම අනුදැනුම ඇතිවද යන්න සැක මතුවේ. මෑත කාලීනව ගෝඪාභය ජනාධිපතිවරයා අපකීර්තියට පත් කිරීමට බෙහෝ කටයුතු සිදුවන්නේ ද යම් එවැනි ජාලයක් මත බව පැහැදිලිය.

    එසේ නම් මෙවන් තත්ත්වයක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ යුත්තේ කුමක්ද ? අත්හැරීම අමතක කොට තමන්ගේ නායකත්වය අගය කළ හැට නව ලක්ෂයක ජනතාව සමඟ එක්ව සිට ගැනීමයි.

    අපි ඡන්දෙ දුන්නෙ සමාජ ක්‍රියාවලියේ වෙනසකට. කෝ ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵල ? යැයි ජනපතිගෙන් විමසීමට බොහෝ පිරිසක් බලා සිටිති. ඒ නිසා ගම්මන්පිල වෙනුවෙන් ජනපති ලියූ මේ නිවේදනයත් මසුරන් වටියි. එය තව පැත්තකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටම දුන් හීන් ටොක්කකි.

    දේශපාලන වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.