fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අභාවප්‍රාප්ත සර්වෝදය නිර්මාතෘ ඒ.ටී.ආරියරත්නට රාජ්‍ය ගෞරව

    අභාවප්‍රාප්ත සර්වෝදය නිර්මාතෘ ඒ.ටී.ආරියරත්නට රාජ්‍ය ගෞරව

    සර්වෝදය නිර්මෘත ආචාර්ය ඒ.ටී ආර්යරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී අද (16) අභාවප්‍රාප්ත විය.

    අනු දෙවැනි වියේ පසුවූ ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙසේ මියගොස් තිබේ.

    1958 ආරම්භ කරන ලද සර්වෝදය ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන ව්‍යාපාරය ලෙස හඳුන්වයි.

    1931 දී ගාල්ල උණවටුනේ උපත ලද ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය උණවටුන බොනවිස්ටා විද්‍යාලයෙන් ද, ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද, උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ද ලැබීය.

    කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ආරම්භ කළ ඔහු එහි දී උසස් පෙළ පාසල් සිසුන් හතළිස් දෙනෙකු සහ ගුරුවරුන් දොළොස් දෙනෙකු අධ්‍යාපන චාරිකාවක් සඳහා රැගෙන ගියේ කුලහීන යැයි සැලකෙන ගමකටය.

    මෙම අමතක නොවන සංචාරයේදී ආචාර්ය ඒ.ටී ආරියරත්නයන් සිය සිසුන්ට සහ ගුරුවරුන්ට සිය ශ්‍රමය, චින්තනය සහ ශක්තිය ගම්වාසීන් සමඟ බෙදා හදා ගැනීමේ මඟ පෙන්වූ අතර ඔවුන්ගේ ගම සංවර්ධනය කිරීමට සහාය වූයේය. පළමු ශ්‍රමදාන කඳවුර සර්වෝදය ශ්‍රමදාන ව්‍යපාරයේ ආරම්භය සනිටුහන් වී ඇත්තේ එසේය.

    ආචාර්ය ආරියරත්නයන් ජාතිය සහ එහි ජනතාව වෙනුවෙන් කළ කැපවීම අගයන ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියක් ලබා ඇත. ඔහු 2007 දී ඉහළම ජාතික සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතින් ද, 1969 දී ප්‍රජා නායකත්වය සඳහා රැමන් මැග්සේසේ සම්මානය (පිලිපීනය), 1982 දී සාමය හා මානව යහපැවැත්ම සඳහා ඔහුගේ දායකත්වය වෙනුවෙන් බෝඩොයින් රාජ්‍ය සම්මානයද (බෙල්ජියම), 1992 නිවානෝ සාම ත්‍යාගය (ජපානය) සහ 1996 දී මහත්මා ගාන්ධි සාම ත්‍යාගය (ඉන්දියාව) වැනි බොහෝ වූ ජාත්‍යන්තර සම්මාන ඔහු වෙත පිරිනමා තිබේ.

    ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් Doctor of Letters (D.Litt.) උපාධියෙන් හා පිලිපීනයේ Amelio Aguinaldo College of Medicine වෙතින් Doctor of Humanities (D.H.) ගෞරව උපාධිවලින් ද පිදුම් ලැබීය.

    පහත දැක්වෙන්නේ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා පසුගිය වසරේ දී 75 වැනි නිදහස සම්බන්ධයෙන් කළ අදහසකි.

    මට මතකයි නිදහස ලැබෙන දවසෙ මහින්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙක් හැටියට නිදහස් චතුරස්‍රයට ඇවිත් ඒ රැස්වීම බලාගෙන හිටියා. එහෙත් එදා ලැබුණු නිදහස ගැන මට සතුටක් තිබුණෙ නැහැ. 56 වෙනස් වෙයි කියලා හිතුවත් බණ්ඩාරනායක මහතාගේ ඝාතනය එක්ක ඒකත් වෙනස් උනා. එදා ඉඳන් අද වෙනකම් (75 නිදහස් සැමරුම) ආරාධනා ලැබුණත් නිදහස් උත්සවයට ගිහිං තියෙන්නෙ එකම එක වතාවයි. ඒ නිදහස මට පිළිගන්න පුළුවන් නිදහසක් නෙමෙයි.මුළු ලෝකෙටම අපි ණය නම්, ආහාර ටික ඉන්ධන ටික නැත්නම් අපට නිදහසක් කොහෙන්ද ? නිදහසට පෙර නීතිය හොඳට ක්‍රියාත්මක උනා. ඒ කාලේ තිබුණ අවංක කම අද නැහැ. අද හැමදාම පත්තරේ බැලුවම කෝටි ගණන් මුදල් හොරකම් කරපුවා තමයි පත්තරේ වාර්තා කරලා තියෙන්නෙ. ඉතිං කොහෙද නිදහසක්. ඒ නිසා අපට ආධ්‍යාත්මික, සධාචාර හා සංස්කෘතික වශයෙන් පිරිහුණු රටක දේශපාලන ආර්ථික සංවර්ධනයක් ඇතිවෙන්න විදියක් නැහැ. ඒ කාලේ වාමාංශික ව්‍යාපාරය ආරම්භවෙලා යම්කිසි තත්ත්වයකට ආවා. අපි ඔක්කෝම ඒකට අයිති උනා. මාත් අවුරුදු 17 වෙනකම් රුසියාවේ ස්ටාලිංගෙ අපරාධ දකිනකම් ඒ සමාජවාදය පිළිගත්තා . නමුත් මේ රට විනාශ කළේ වාමාංශික මෙන්ම දක්ෂිණාංශික ඒ පක්ෂ දේශපාලනය කියලා මට කියන්න පුළුවන්. මේ දේශපාලන පක්ෂ මේ රටට ගැලපෙන්නෙ නැහැ. පක්ෂ දේශපාලනය නිසා තමයි මේ බොරු නිදහසක් අපට භුක්ති විදින්න සිදුවෙලා තියෙන්නෙ. පක්ෂ දේශපාලනය නොතිබුණා නම් ඒ කියන්නෙ කුල ජාති ආගම් සහ නොයෙක් පක්ෂවලට මේ රට බෙදුනෙ නැත්නම් අපේ රට හුඟාක් ඉස්සරහට ගිහිල්ලා යැයි- ආචාර්ය. ඒ.ටී. ආරියරත්න මහතා පැවසීය.

    මේ අතර අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතාට රාජ්‍ය ගෞරව ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශකටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාට උපදෙස් දී තිබේ. අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.